විදුලි බිල ගෙවන්න අප්‍රේල් 30 දක්වා සහන කාලයක්

අප්‍රේ 09, 2020

    උද්ගතවී ඇති කොරෝනා තත්ත්වය හේතුවෙන් ඉකුත් පෙබරවාරි මස සිට විදුලි බිල ගෙවීමට නොහැකි වූ විදුලි පාරිභෝගිකයින්ගේ විදුලිය විසන්ධි නොකරන ලෙසට විදුලිබල හා බලශක්ති අමාත්‍ය මහින්ද අමරවීර මහතා ලංකා විදුලිබල මණ්ඩලයට උපදෙස් ලබා දී තිබේ.

    එම කාලසීමාවට අදාළ විදුලි බිල්පත් ගෙවීමට ඇති සහන කාලය ලබන 30 වැනිදා දක්වා දීර්ඝ කිරිමටද අමාත්‍යවරයා විදුලිබල මණ්ඩලය වෙත දැනුම් දී තිබේ.

    අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ නොරොච්චේල ගල් අගුරු තාප බලාගාරයේ සේවක මණ්ඩලයේ සාමාජිකයින් අසීරු අවස්ථාවේදී අඛණ්ඩව විදුලිය සපයමින් මහජනතාවට සපයන සේවාව ඇගයීම වෙනුවෙන් අමාත්‍යවරයා ඉකුත් 07 වැනිදා එහි කළ සංචාරයකදීය.

    ලෝක වෙළෙඳපලේ ඉන්ධන මිල වෙනස්වීම් සිදුවුවද, නොරොච්චෝල ගල් අගුරු බලාගාරය මගින් අඛණ්ඩව විදුලිය උත්පාදනය සදහා අවශ්‍ය ගල් අගුරු තොග මේ වසරේ නොවැම්බර් මාසය තෙක් පවතින බැවින් කිසිදු කප්පාදුවකින් තොරව විදුලිය ලබා දීමේ හැකියාව මේ වන විට විදුලි බල මණ්ඩලය සතුව ඇතැයි ද අමාත්‍යවරයා මෙහිදී සඳහන් කළේය.

    නොරොච්චොල ගල් අගුරු බලාගාරයේ තෙවන අදියර කඩිනමින් ආරම්භ කිරීම මගින් තවත් මෙගාවොට් 300 ක විදුලි ධාරිතාවක් ජාතික පද්ධතියට එකතු කිරීම රජයේ අපේක්ෂාව බව කී අමාත්‍යවරයා විදුලි ඒකකයක් රුපියල් 10 ක් 12 ක් වැනි මිලකට මහජනතාවට ලබාදීමට එමගින් හැකියාව ලැබෙන බවද ප‍්‍රකාශ කළේය.

    Latest News