මෙරට COVID-19 රෝගීන් සංඛ්‍යාව 185 දක්වා ඉහළට (වීඩියෝ)

අප්‍රේ 07, 2020
  • සමස්ත රෝගීන් සංඛ්‍යාව ද 185 දක්වා ඉහළ ගොස් ඇතැයි, සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය පවසයි.

    කොරෝනා වෛරසය ආසාදනය වූ බව අද තහවුරු වූ රෝගීන්ගේ සංඛ්‍යාව 07ක්.

    මේ වනවිට 42 දෙනෙකු පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් තිබේ. රෝගය වැළඳුණු බවට තහවුරු වූ 137 දෙනෙකු තවදුරටත් රෝහල්වල ප්‍රතිකාර ලබයි. ඒ අංගොඩ ජාතික බෝවන රෝග විද්‍යායතනය, වැලිකන්ද මූලික රෝහල සහ මුල්ලේරියාවේ පිහිටි නැගෙනහිර කොළඹ මුලික රෝහලේ. කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව සැක කෙරෙන 255 දෙනෙකු සම්බන්ධයෙන් වෛද්‍ය පරීක්‍ෂණ පැවැත්වේ. තවදුරටත් වැඩිම රෝගීන් පිරිසක් වාර්තා වන්නේ, කොළඹ, පුත්තලම, කළුතර සහ ගම්පහ යන දිස්ත්‍රික්කවලිනි.

    කොරෝනා වෛරසය ආසාදිතව මෙරටදී අද උදේ මියගිය හය වැනි රෝගියාගේ අවමංගල්‍යය පස්වරුවේ සිදු කෙරිණ. ඒ, කොටිකාවත්ත ආදාහනාගාරයේදී. අවසන් කටයුතු සිදු කෙරුනේ, විශේෂඥ අධිකරණ වෛද්‍ය නිලධාරී, ප්‍රාදේශීය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී සහ මහජන සෞඛ්‍ය පරීක්‍ෂකවරුන්ගේ මැදිහත්වීමෙන්. මුදා තැබුණු දේහයට අවසන් ගෞරව දැක්වීමට මියගිය පුද්ගලයාගේ පවුලේ ඥාතීන් ද එක්වූහ. ඔවුන්ට දේහය පෙන්වීමේදී අදාළ නියමිත ප්‍රමිතීන්ට අනුකූලව එය කළ බව, ගොතටුව පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්‍ෂකවරයා සඳහන් කළේය.

    ජාත්‍යන්තර නිරෝධායන ක්‍රමවේදයන්ට අනුකූලව සියළුම සෞඛ්‍ය විධිවිධාන පිළිපදිමින් දේහය ආදාහනය කෙරිණ. මියගිය පුද්ගලයා අංගොඩ ජාතික බෝවන රෝග විද්‍යායතනයේ ප්‍රතිකාර ලබමින් සිටි ඔහු 80 හැවිරිදි අයෙක්. ඔහු දෙහිවල ප්‍ර දේශයේ පදිංචිකරුවෙක් බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

    මීගමුව, කටාන, කඳසුරිදුගම ප්‍රදේශයට පැමිණිම සහ පිටවීම පසුගියදා තාවකාලිකව සීමා කරනු ලැබීය. පවුල් 180ක පුද්ගලයන් 750 ක් පමණ ස්වයං නිරෝධායනයට යොමු කර කර ඇතැයි, ප්‍රදේශයේ මහජන සෞඛ්‍ය පරීක්‍ෂකවැරුන් පවසයි.
    එම ප්‍රදේශය අද සම්පූර්ණයෙන්ම විෂබීජානුහරණය කෙරිණ. ඒ කටාන ප්‍රාදේශීය සභාව, මහජන සෞඛ්‍ය පරීක්‍ෂකවරුන් සහ කටාන පොලිසියේ මූලිකත්වයෙන්.

    කොරෝනා වෛරසය ආසාදිත බවට සැක කෙරෙන පුද්ගලයන් 07 දෙනෙකු අද කරාපිටිය ශික්‍ෂණ රෝහලට ඇතුලත් කෙරිණ. ඒ, ගාල්ල, බලපිටිය, බෝපේ, පෝද්දල, ඇල්පිටිය සහ ඉඳුරුව ආදි ප්‍රදේශවලින්.

    පසුගියදා හුදෙකලා කරන ලද බණ්ඩාරගම, අටළුගම ප්‍රදේශය තවදුරටත් ඒ අයුරින්ම ක්‍රියාත්මකයි. ප්‍රදේශවාසීන්ට අවශ්‍ය ඖෂධ ඇතුළු අත්‍යවශ්‍ය ද්‍රව්‍ය ආදිය සෞඛ්‍යාරක්‍ෂිතව ලබාදීම අද සිදු කෙරුණ බව අප වාර්තාකරු පවසයි.

    මීට දින කිහිපයකට පෙර ඇඳිරි නීති කාල සීමාවේ කන්තලේ නගරයේ තැනින් තැනට ගමන් කරමින් සිටි කාන්තාවක කන්තලේ පොලිසිය අත්අඩංගුවට ගෙන තිබේ. ඒ වනවිට ඇය අසනීප තත්වයෙන් පෙළුණු බැවින් කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට සැකපිට කන්තලේ රෝහලට ඇතුළත් කෙරිණ. ඇයගෙන් ලද තොරතුරුවලින් හෙළිවී ඇත්තේ, එම කාන්තාව මීරිගම ප්‍රදේශයේ පදිංචිකාරියක බවයි. ඒ අනුව මීරිගම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී ඇතුළු මහජන සෞඛ්‍ය පරීක්‍ෂකවරුන් ඇය පදිංචි නිවසට ගොස් ඇගේ දෙමාපියන් ද පරීක්‍ෂාවට ලක් කළේය. පසුව ඔවුන් ස්වයං නිරෝධායනයට යොමු කරනු ලැබීය.

     

     

    Last modified on අඟහරුවාදා, 07 අප්‍රේල් 2020 20:08

    Latest News