ඇඳිනීති බලපත් නිකුත් කිරීමට නව ක්‍රමවේදයක්

අප්‍රේ 07, 2020

    කොරෝනා වෛරසය හෙවත් COVID 19 ව්‍යාප්තිය නතර කිරීමේ අරමුණ ඇතිව, ජනතාව අනවශ්‍ය ලෙස ඒකරාශීවීම වළක්වනු පිණිස රජය විසින් වරින් වර ඇඳිරි නීතිය පනවනු ලැබේ.


    එවැනි අවස්ථාවල ඇඳිරිනීති බලපත් ලබා ගැනීම සඳහා පුද්ගලයන් විශාල වශයෙන් පොලිස් ස්ථාන වෙත පැමිණෙන බව නිරීක්ෂණය කර ඇත. මෙසේ ජනයා ඒකරාශීවීම කොරෝනා මර්දන වැඩසටහන්වලට බලවත් බාධාවකි.

    එබැවින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ උපදෙස් පරිදි වැඩබලන පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න මහතා විසින් ඇඳිනීති බලපත් නිකුත් කිරීමට නව ක්‍රමවේදයක් සකස් කොට තිබේ. ඒ අනුව ඇඳිරිනීති බලපත් නිකුත් කිරීම ක්‍රම 04කට සිදු කෙරේ.
    ඒ පොලිස් මූලස්ථානය, පළාත් භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති කාර්යාල, කොට්ඨාස භාර පොලිස් අධිකාරි කාර්යාසහ පොලිස් ස්ථාන මගිනි.

    බස්නාහිර පළාතේ කොළඹ දිස්ත්‍රික්කයට අයත් සේවකයන් 50ක් හෝ ඊට වැඩි පිරිසක් සහිත ආයතන සඳහා ඇඳිරිනීති බලපත් නිකුත් කරන්නේ පොලිස් මූලස්ථානය විසිනි. බස්නාහිර පළාතේ ගම්පහ සහ කළුතර දිස්ත්‍රික්කවලට අයත් සේවකයන් 50ක් හෝ ඊට වැඩි පිරිසක් සහිත ආයතන සඳහා ඇඳිරීනීති බලපත් නිකුත් කිරිම බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති කාර්යාලයට පැවරේ.

    බස්නාහිර හැර සෙසු පළාත්වලට අයත් සේවකයන් 50ක් හෝ ඊට වැඩි පිරිසක් සහිත ආයතනවලට බලපත් නිකුත් කිරීම පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති කාර්යාලය විසින් සිදු කෙරේ.
    ඒ ඒ පොලිස් කොට්ඨාස බල ප්‍රදේශයට අයත් සේවකයන් 10ක් හෝ ඊට වැඩි සහ සේවක සංඛ්‍යව 50ට අඩු ආයතනවලට ඇඳිරීනීති බලපත් නිකුත් කරනුයේ කොට්ඨාස භාර පොලිස් අධිකාරි කාර්යාලය විසිනි.

    පොලිස් බල ප්‍රදේශයක ඇති, සේවක සංඛ්‍යාව 10ට අඩු, ආයතන සඳහා බලපත් නිකුත් කිරීම ඒ ඒ පොලිස් ස්ථානයට පවරා තිබේ. එසේම අතිශය මානුෂීය හේතුන් මත පුද්ගලයන්ට බලපත් නිකුත් කිරීමට ද පොලිස් ස්ථානවලට අවසර ඇත.
    ඇඳිරී නීති බලපත්‍ අයැදුම්පත කුමන කාර්යාලයකට යොමු කළ යුතු ද යන්න කල්තබා නිශ්චය කර ගන්නැයි වැඩබලන පොලිස්පතිවරයා ආයතනවලට දැනුම් දෙයි. බලපත් අයැඳුම් කළ යුත්තේ අතිශය සාධාරණ හේතු ඇතිව පමණි.

    ජනාධිපති කාර්යාලය, අග්‍රාමාත්‍ය කාර්යාලය ප්‍රමුඛ අමාත්‍යංශ, දෙපාර්තමේන්තු, සංස්ථා, මණ්ඩල හා අධිකාරි ඇතුළු ආයතනවල සේවකයනට සිය සේවා හැඳුනුම්පත ඇඳිරි නීති බලපත්‍රය ලෙස භාවිත කිරීමට පිළිවන. එසේ වුවද සේවා අවශ්‍යතාවක් නැතිව සිය සේවා හැඳුනුම්පත අවභාවිත කරන අයට එරෙහිව නීතිමය පියවර ගනු ලැබේ.

    ඇඳිරි නීති බලපත් නිකුත් කිරීමේ නව ක්‍රමවේදය ඇතුළත් චක්‍රලේඛය www.police.lkවෙබ් අඩවියෙන් සහ රජයේ ප්‍රවෘත්ති වෙබ් අඩවිවල ඇතුළත් කර ඇත.

    Latest News