සියළුම ආයුර්වේද රෝහල්, ඇඳිරිනීති කාලසීමාව තුළ විවෘතව තැබේ

අප්‍රේ 07, 2020

    සියළුම ආයුර්වේද රෝහල්, ඇඳිරිනීතිය බලපවත්නා කාලසීමාව තුළ විවෘතව තැබීමට, අත්‍යවශ්‍ය සේවාවන් සඳහා වූ ජනාධිපති කාර්ය සාධක බලකාය තීරණය කර තිබේ.

    අද පැවති රැස්වීමේදී කාර්ය සාධක බලකාය මෙම තීරණය ගනු ලැබීය.
    අත්‍යවශ්‍ය සේවාවන් සඳහා වූ ජනාධිපති කාර්ය සාධක බලකාය රැස්වුණේ, එහි ප්‍රධානී බැසිල් රාජපක්‍ෂ මහතාගේ ප්‍රධානත්වයෙන්. එහිදී ආයුර්වේද වෛද්‍ය ක්ෂේත්‍රයට සම්බන්ධ තීරණ කිහිපයක් ගෙන තිබේ. සෑම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයකම ලියාපදිංචි ආයුර්වේද බෙහෙත් ශාලා අතරින් අවම වශයෙන් එක් ශාඛාවක් වත් ඇඳිරිනීති කාලය තුළ ස්වකීය සේවා, ජංගම වශයෙන් පවත්වාගෙන යා යුතුවේ. මේ දිනවල විශාල වශයෙන් පරිභෝජනය කරනු ලබන කොත්තමල්ලි, ඉඟුරු සහ වෙනිවැල්ගැට ආනයනය කිරීමට ද පියවර ගෙන තිබේ. අසාධ්‍ය රෝගීන්ගේ නිවෙස්වලට පැමිණ පරීක්‍ෂා කරන ආයුර්වේද දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි වී ඇති වෛද්‍යවරුන්ට රෝගීන්ගේ වාසස්ථාන වෙත ගමන් කිරීමට අවසර ලබා දී තිබේ. ආයුර්වේද දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි වී දීර්ඝ කාලීනව ප්‍රතිකාර ලබන රෝගීන්ගේ බෙහෙත් තැපැල් මගින් රෝගීන්ගේ නිවාසවලට රැගෙන යාමට ද අද පැවති කාර්ය සාධක බලකා රැස්වීමේදී තීරණය කරනු ලැබීය. සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය ද මේ අවස්ථාවට එක්වූවාය.

    Latest News