අද දින තුළ ශ්‍රී ලංකාවේ කිසිදු COVID-19 රෝගියෙකු වාර්තා වී නැහැ (වීඩියෝ)

මාර් 25, 2020
  • අද දිනය තුළ මෙරටින් මේ දක්වා කොවිඩ් නයින්ටින් කිසිදු රෝගියෙකු හමුවී නොමැති බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

    පසුගිය 11 වැනිදා සිට ඊයේ දක්වා සෑම දිනකම කොරෝනා වෛරස් ආසාදිතයින් මෙරටින් වාර්තා විය.


    කොරෝනා වෛරසය ආසාදනය වූ බවට දිවයිනෙන් පළමු වරට හඳුනා ගනු ලැබූවේ, චීන ජාතික කාන්තාවකි. මෙරටදී වෛරසය ආසාදනය වූ පළමු ශ්‍රී ලාංකිකයා ලෙස හඳුනා ගැනුණේ, සංචාරක මඟ පෙන්වන්නෙක්. ඒ පසුගිය 11 වැනිදා. අනතුරුව ඊයේ වනතෙක් සෑම දිනකම කොවිඩ් නයින්ටීන් රෝගීන් වාර්තා විය. වැඩිම රෝගීන් පිරිසක් වාර්තා වූයේ ඉකුත් 17,19 දෙදින තුලයි. එම සංඛ්‍යාව 13ක්.


    අද වනවිට වැඩිම රෝගීන් පිරිසක් වාර්තා වන්නේ, කොළඹ දිස්ත්‍රික්කයෙන්. ඊට අමතරව කළුතර සහ ගම්පහ යන දිස්ත්‍රික්කවලින් ද වැඩි රෝගීන් පිරිසක් වාර්තා වී තිබේ. කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට සැක කෙරෙන 255 දෙනෙකු සම්බන්ධයෙන් මේ වනවිට රෝහල් කිහිපයකදී පරීක්‍ෂණ පැවැත්වේ.

    මේ අතර, ඉතාලියේ සිටි ශ්‍රී ලාංකිකයෙකු කොරෝනා වෛරසය ආසාදනය වීමෙන් මියගොස් ඇති බවට පළව ඇති වාර්තා අසත්‍ය බව ඉතාලියේ ශ්‍රී ලංකා නියෝජ්‍ය තානාපති සිසිර සෙනෙවිරත්න මහතා ජාතික රූපවාහිනියට පැවසීය. මෙය ඉතාලියේ වෙසෙන ශ්‍රී ලාංකිකයන් ද සනාථ කර තිබේ.


    තිස්සමහාරාම ප්‍රදේශයේ 317 දෙනෙකු නිරෝධායනයට ලක්කර ඇති බව මහජන සෞඛ්‍ය පරීක්‍ෂක කාර්යාලය පවසයි. දැනට අංගොඩ ජාතික බෝවන රෝග විද්‍යායතනයේ ප්‍රතිකාර ලබමින් සිටින රෝගීන් මීට පෙර ඇසුරු කළ පුද්ගලයින්ද ඒ අතර වන බවයි වාර්තා වන්නේ. ඇඳිරි නීතිය නොතකා එම ප්‍රදේශයට පැමිණ හෝටලයක නතර වී සිටි 12 දෙනෙකු ද එම හෝටලයේම නිරෝධායනය සඳහා යොමුකර ඇති බව මහජන සෞඛ්‍ය පරීක්‍ෂකරුවන් සඳහන් කළේය.

    ස්වයං නිරෝධායන ක්‍රියාවලිය සාර්ථකව අවසන් කළ කොරියානු ජාතිකයන් දස දෙනෙකු ද සමාජගත කෙරිණ. ඊට අදාළ අවසර පත්‍රය ඊයේ නිකුත් කරන ලද්දේ දංකොටුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය විසිනි. මෙම කොරියානු ජාතිකයන් පිරිස දංකොටුව හාල් දඬුවන ප්‍රදේශයේ පිහිටි නිවසක් තුළ ස්වයං නිරෝධායනයට ලක් කෙරුණේ, ඉකුත් 08 වැනි දින සිටයි.

    පානදුර ප්‍රදේශයේ ස්වයං නිරෝධායනයට යොමු කර සිටි පවුලක් ද අද එම කාලසීමාව අවසන් කළේය. ඔවුන් පැමිණ සිටින්නේ ඉතාලියේ සිටයි. පානදුර සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලය ඔවුන්ට නිරෝධායන කාලසීමාව සාර්ථකව අවසන් කළ බවට වූ සහතිකය ලබාදුන්නේය.

    අනුරාධපුරය ප්‍ර දේශයේ ස්වයං නිරෝධායනයට යොමුකර සිටි විදේශිකයන් දෙදෙනෙකු ද එම කාලසීමාවෙ අවසන් කළේය. එම දෙදෙනා ප්‍රංශ සහ යුක්‍රේන ජාතිකයන්.

    Latest News