නිවසටම අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය බෙදාහැරීමේ විශේෂ වැඩසටහන් රටපුරා

මාර් 25, 2020

    ජනතාව ඒකරාශීවීම වළකමින් නිවසටම අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය බෙදාහැරීමේ විශේෂ වැඩසටහන රජය ආරම්භ කර තිබේ.

    සමූපකාර සහ සුපිරි වෙළෙඳ සැල් ඒකාබද්ධව මෙම යාන්ත්‍රණය ක්‍රියාත්මක වනු ඇත. මේ පිළිබඳ විශේෂ සාකච්ජාවක් ජනාධිපති කාර්ය සාධක බලකායේ ප්‍රධානී බැසිල් රාජපක්‍ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අද පස්වරුවේ පැවැත්විණ.


    ජන ජිවිතය බිඳ නොවැටෙන ආකාරයෙන් අත්‍යවශ්‍ය සේවා පවත්වාගෙන යාමට ගොවියා සහ දේශීය ආර්ථිකය සුරැකෙන පරිදි රට තුළ නිෂ්පාදනය කෙරෙන ආහාර ද්‍රව්‍ය ජනතාව වෙත බෙදාහැරීම මෙම වැඩසටහනේ අරමුණයි.


    සහල්, පොල්, එළවළු, බිත්තර සහ කුකුල් මස් හිඟයකින් තොරව සැපයීමේ හැකියාව පවතී. මේවා ගොවීන්ගෙන් සහ නිෂ්පාදකයන්ගෙන් මිලදී ගෙන සමූපකාර සහ සුපිරි වෙළෙඳ සැල් ඒකාබද්ධව අත්‍යවශ්‍ය ආහාර මල්ලක් සකස් කර ප්‍රාදේශීය යාන්ත්‍රණය මගින් විධිමත්ව බෙදාහැරිය හැකි බව, බැසිල් රාජපක්‍ෂ මහතා මෙහිදී පෙන්වා දුන්නේය. ජනතාව අපේක්‍ෂා කරන පරිදි විවිධ මිල ගණන් යටතේ ආහාර මලු බෙදාහැරීමට නියමිතයි. රජයේ රෝහල්වල ලියාපදිංචිව අඛණ්ඩව ඖෂධ මිලදී ගන්නා රෝගීන්ට අදාළ ඖෂධ වට්ටෝරුවට අනුව නිවසටම බෙහෙත් බෙදා හැරීමට ද මෙහිදී තීරණය කෙරිණ. පෞද්ගලික ෆාමසිවලින් ඖෂධ මිලදීගන්නා රෝගීන්ට ප්‍රාදේශීකව තෝරාගත් ෆාමසි කිහිපයක් නම්කර නිවසටම බෙදාහැරීමේ ක්‍රමවේදයක් අනුගමනය කිරීමටත් මෙහිදී සාකච්ජා කෙරිණ.


    වෙළෙඳ සහ අත්‍යවශ්‍ය කටයුතුවලට දායකවන අයුරින් වාණිජ බැංකු විවෘතව තැබීමට ද මෙහිදී තීරණය විය. දුරකතන ඇනවුම් මගින් නිවෙස් වෙතම ගෑස් බෙදාහැරීමේ වැඩපිළිවෙළක් කඩිනමින් ක්‍රියාවට නංවන ලෙස බැසිල් රාජපක්‍ෂ මහතා එම ආයතනවලින් ඉල්ලා සිටී. එළවළු මෙන්ම බඩ ඉරිඟු, උඳු, මුං, කවුපි, කුරක්කන් වගා සඳහා ගොවීන් දිරිමත් කරන ලෙස ද මෙහිදී උපදෙස් දෙනු ලැබීය. සියළුම දිස්ත්‍රික් ලේකම්වරුන්, බැංකු ප්‍රධානීන්, අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ප්‍රවාහනයට සම්බන්ධ රාජ්‍ය සහ පුද්ගලික ආයතන ප්‍රධානීන් මෙම සාකච්ජාවට එක්වූහ.

    ඇඳිරිනීතිය කාලය තුළ කොළඹ 01 සිට 15 දක්වා ප්‍රදේශවලට වියළි ආහාර ඇතුළු අනෙකුත් ද්‍රව්‍ය සැපයීමේ වැඩපිළිවෙළක් ක්‍රියාත්මකයි. එය “ලංකා සතොස“ ආයතනය මගින් ක්‍රියාත්මක කරන අතර, සේවාව ලබාදෙන්නේ “PickMe“ ආයතනයයි. අදාළ ප්‍රදේශවල පාරිභෝගිකයන්ට 1331 දුරකතන අංකය අමතා, තම ඇණවුම ලබාදිය හැක. රුපියල් 500/=, රුපියල් 1,000/=, රුපියල් 1,500/= යන මිල ගණන් යටතේ භාණ්ඩ පාර්සල් ලබාගැනීමේ පහසුකම මෙමගින් හිමිවේ. භාණ්ඩ බිල්පත ඔන්ලයින් ක්‍රමයට සිදුකළ හැක. භාණ්ඩ රැගෙන එන්නාට අදාළ ගාස්තුව මුදලින් ගෙවීමේ පහසුකම ද හිමිවේ.

    කොළඹ ඇතුළු නාගරික ප්‍රදේශ සඳහා පාරිභෝගිකයන්ට භාණ්ඩ ලබාදීමේ වැඩසටහන යටතේ සතොස ආයතනය බෙදාහරින භාණ්ඩ ඇසුරුම් කිරීම එඩේරමුල්ල සතොස තොග මධ්‍යස්ථානයේදී අද සිට සිදු කෙරේ. ඊට නාවික හමුදාවේ ද සහය ලැබී තිබේ. වැඩපිළිවෙළ නිරීක්‍ෂණය කිරීම සඳහා නාවික හමුදාපති වයිස් අද්මිරාල් පියල් ද සිල්වා මහතා ද එක්විය.

    සමූපකාර දෙපාර්තමේන්තුව ආරම්භ කළ “අපි එනතුරු ගෙදර ඉන්න“ වැඩසටහන අද සිට ක්‍රියාත්මකයි. එමගින් වියළි සලාක ගෙයින් ගෙට ගොස් අලෙවි කිරීම සිදු කෙරේ. රුපියල් 500-1000 වටිනාකමින් යුත් වියළි සලාක ඇතුළත් බඩු මළු ජනතාව වෙත ලබාදීම සිදු කෙරේ. වැඩපිළිවෙළ විවිධ සේවා සමූපකාර සමිති 38හි ක්‍රියාත්මක බව බස්නාහිර පළාත් කොමසාරිස් රුවිනි ඒ විජේවික්‍රම මහත්මිය පැවසුවාය. ප්‍රාදේශීය ලේකම් මගින් ග්‍රාම නිලධාරීන් හරහා වැඩපිළිවෙළ ඉදිරියට ගෙන යාමට සැලසුම් කර තිබේ.

    අත්‍යවශ්‍ය පාරිභෝගික භාණ්ඩ බෙදාදීමේ වැඩසටහන වෙනුවෙන්, අරලිය සහල් සමාගම කිලෝ ලක්‍ෂ 05ක සහල් මුදාහැරීමට පියවර ගනු ලැබීය. දිවයිනේ විවිධ ප්‍රදේශවලට ඊයේ සහල් ලොරි 28ක් පිටත්කර තිබෙන අතර, අද දිනයේත් අත්‍යවශ්‍ය සේවා සලසන රජයේ සියලු ආයතන වෙත සහල් ලබාදීමට එම සමාගය පියවර ගෙන තිබේ.

    කුඩාවැල්ල ධීවර වරායේ මත්ස්‍ය අස්වැන්න බෙදාහැරීම අද උදේ ආරම්භ කෙරිණ. මත්ස්‍ය අස්වැන්න මධ්‍යම පළාත ඇතුළු ප්‍රදේශ කිහිපයකට බෙදාහැරීමට නියමිතයි.

    ඇඳිරි නීතිය ක්‍රියාත්මකව පවතින කාලසීමාව තුළ ජනතාවට අත්‍යවශ්‍ය භාණ්ඩ සැපයීම දිස්ත්‍රික්ක මට්ටමින් ක්‍රියාත්මකයි.

    හොරණ ප්‍රදේශවාසීන් සඳහා අත්‍යවශ්‍ය භාණ්ඩ හා සේවා අද ක්‍රියාත්මක කෙරිණ. හොරණ විවිධ සේවා සමූපකාර සමිතිය විසින් ද වැඩසටහනක් ක්‍රියාත්මක කරනු ලැබීය.

    කොළඹ නගරයේ සහ තදාසන්න ප්‍රදේශවල ද ජංගම රථ මගින් ආහාර බෙදාහැරීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කරනු ලැබීය.

    ඇඳිරි නීතිය ක්‍රියාත්මක වන කාලය තුළ පොළොන්නරුව දිස්ත්‍රික්කයේ ජනතාවට නිවෙස් වෙත සහන මුදලකට අත්‍යවශ්‍ය වියළි ආහාර පාර්සලයක් සහ එළවළු මල්ලක් බෙදාදීම ආරම්භ කර තිබේ.

    ඊයේ හිඟුරක්ගොඩ විවිධ සේවා සමූපකාර සමිතිය විසින් ඊයේ අත්‍යවශ්‍ය ආහාර පාර්සල් සහ එළවළු මලු බෙදාදීම සිදු කරනු ලැබීය.

    සහන මිලට අත්‍යවශ්‍ය ආහාර මල්ලක් ලබාදීමේ වැඩපිලිවෙළක් වතු ජනතාව කේන්ද්‍ර කර ගනිමින් ද ආරම්භ කර තිබේ. රුපියල් 1200ක් වටිනා අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ඇතුළත් ආහාර මල්ලක් රුපියල් 1000ක මුදලකට ලබාදීම සිදු කෙරේ.

    පානදුර ප්‍රදේශයේ ද ජංගම රථ යොදා ගනිමින් සහන මිලකට ආහාර මලු බෙදාදීම ආරම්භ කෙරුණේ පානදුර ප්‍රාදේශීය සභාවේ මෙහෙයවීමෙන්.

    ගාල්ල දිස්ත්‍රික්කයේ ද ජංගම සේවයක් මගින් ආහාර ද්‍රව්‍ය බෙදාහැරීම සිදු කෙරේ. සාමාන්‍ය ජනතාවට මෙන්ම රෝහල් කාර්ය මණ්ඩල කේන්ද්‍ර කර ගනිමිනුයි, වැඩසටහන ක්‍රියාත්මක වන්නේ.

    කටාන ප්‍රාදේශීය සභාව ද සහන මිලට ආහාර මලු බෙදාදීමේ වැඩසටහනක් ආරම්භ කලේය. අඩු ආදායම්ලාභී පවුල් ඉලක්ක කර ගනිමින් වැඩසටහන ක්‍රියාත්මකයි.

    වත්තල ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයේ ජනතාවට ආහාර ද්‍රව්‍ය සැපයීමේ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කර තිබේ. ඒ, වත්තල ප්‍රාදේශීය සභාව විසින්.

    බියගම ප්‍රාදේශීය සභාව ද ප්‍රදේශයේ ජනතාව සඳහා වැඩසටහනක් ක්‍රියාත්මක කර තිබේ. මේ යටතේ එළවළු කිලෝ ග්‍රෑම් පනස් දහසක් ජනතාව වෙත බෙදාදීම සිදු කෙරිණ.

    අඹගමුව ප්‍රාදේශීය සභාව ද නිවසට පැමිණ සහන මිලට භාණ්ඩ අලෙවි කිරීමේ වැඩපිළිවෙළක් ආරම්භ කර තිබේ. එහිදී ජනතාවට රුපියල් 1,000/= මුදලකට භාණ්ඩ මල්ලක් මිලදී ගත හැකිය.

     

     

     

     

     

    Last modified on බදාදා, 25 මාර්තු 2020 20:35

    Latest News