'කොරෝනා' වැළැක්වීමේ ක්‍රියාමාර්ග ඇතුළත් චක්‍රලේඛයක් නිකුත් කෙරේ

මාර් 16, 2020

    කොරෝනා රෝග තත්වය වසංගත තත්වයක් දක්වා වර්ධනය වීම වළක්වා ගනු පිණිස අනුගමනය කළ යුතු ක්‍රියාමාර්ග ඇතුළත් චක්‍රලේඛයක් රාජ්‍ය පාරිපාලන ස්වදේශ කටයුතු හා පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය විසින් නිකුත් කරනු ලැබ තිබේ. මේ සම්බන්ධයෙන් සියලුම අමාත්‍යාංශ, දෙපාර්තමේන්තු, සංස්ථා හා ව්‍යවස්ථාපිත මණ්ඩල දිස්ත්‍රික් ලේකම්වරුන් හෝ දිසාපතිවරුන්,ප්‍රාදේශීය ලේකම්වරුන් හා ග්‍රාමනිලධාරීන් දැනුවත් කර ඇති බවයි, රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පවසන්නේ.

    ආණ්ඩුකාර විශේෂඥ වෛද්‍ය සීතා අරඹපොල මහත්මියගේ ප්‍රධානත්වයෙන් කොරෝනා මර්දන කාර්ය සාධක බලකාය අංක 1090 ශ්‍රී ජයවර්ධනපුර මාවත රාජගිරිය යන ස්ථානයේ ස්ථාපනය කර තිබේ. මේ සඳහා තොරතුරු ලබාදීමට සහ අවශ්‍ය සහය ලබා ගැනීමට 117 දුරකථන අංකය ඔස්සේ සම්බන්ධ විය හැකියි.

    මීට සමගාමීව සියලුම දිස්ත්‍රික් ලේකම්වරුන්,ප්‍රාදේශීය ලේකම්වරුන්,ග්‍රාමනිලධාරී වසම් මට්ටමින් සහය ලබා ගෙන තම කාර්යාලය තුළ කොරෝනා මර්දන තොරතුරු වාර්තා කරන මධ්‍යස්ථානයක් ආරම්භ කළ යුතු බව, චක්‍ර ලේඛයෙහි සඳහන්. ප්‍රාදේශීය ලේකම් වෙත තොරතුරු ලබාදීම සඳහා අමාත්‍යාංශ,දෙපාර්තමේන්තු,සංස්ථා හා මණ්ඩල කාර්යාලවල ද තොරතුරු වාර්තා කරන මධ්‍යස්ථානයක් පිහිටුවන ලෙස දන්වා තිබේ.

    ඒ අනූව, මෙම මධ්‍යස්ථානවලට වාර්තා වන කොරෝනා වෛරසය වැළඳී ඇතැයි, සැක සහිත පුද්ගලයින් පිළිබඳව අදාළ සෞඛ්‍ය බලධාරීන් වෙත වාර්තා කිරීම සිදු කළ යුතුයි. ප්‍රාදේශීය සිවිල් ආරක්ෂක කමිටුව, ප්‍රාදේශීය ඩෙංගු මර්දන කමිටුව මගින් කොරෝනා රෝග තත්වය හා රෝග මර්දනය පිළිබඳව ආරක්ෂක අංශවල සහය ලබාගෙන දැනුවත් කිරීම් හා මෙහෙයුම් කටයුතු සිදු කළ යුතු වෙයි. ග්‍රාම නිලධාරී මට්ටමින් කොරෝනා වෛරසය වැළඳී ඇතැයි සැක සහිත පුද්ගලයින් ඉහත ප්‍රාදේශීය කමිටුවල නිලධාරීන් වෙත වාර්තා කළ යුතුයි. එම පුද්ගලයින් ආරක්ෂක අංශවල සහය ඇතිව නිරෝධායන කටයුතුවලට යොමු කළ යුතු වෙයි.

    විදේශගතව සිට පැමිණෙන නිරෝධායන කටයුතු සඳහා යොමු කරනු ලබන පුද්ගලයින් හා තම නිවසේ සිට නිරෝධායන කටයුතුවලට යොමු වන පුද්ගලයින් හට අවශ්‍ය විශේෂ නිවාඩු ලබා දීමට අමාත්‍යාංශ ලේකම්, දෙපාර්තමේන්තු ප්‍රධානීන් විසින් කටයුතු කළ යුතුයි.

    රාජ්‍ය ආයතනවලට පැමිණෙන ජනතාව අවම කර ගැනීමට පියවර ගත යුතු වෙයි. විශේෂයෙන්ම මහජන දිනය වන බදාදා දිනය දුරකථන, ඊමේල් වැනි මාධ්‍ය භාවිත කරමින් මහජන ගැටලු නිරාකරණය කර දීමට කටයුතු කළ යුතු බව එහි සඳහන්. සියලුම රජයේ කාර්යාලවලට පැමිණෙන රාජ්‍ය නිලධාරීන්ට හා ජනතාවට විෂබීජහරණ අත්සේදීම් දියර හා අත් ආලේපන දියර ලබාදීමට පියවර ගත යුතුයි. විශාල වශයෙන් රාජය නිලධාරීන් හා මහජනතාව එක් රැස්වන පුහුණු වැඩසටහන් හා රැස්වීම් තාවකාලිකව අත්හිටුවිය යුතුයි.

    කොරෝනා රෝග තත්වය තවදුරටත් ව්‍යාප්ත වන්නේ නම් රජයේ කාර්යාලවල කටයුතු සීමා කිරීමට සිදුවිය හැකි බවයි, චක්‍රලේක මගින් දැනුම් දෙන්නේ. එහිදී මාණ්ඩලික නිලධාරීන් හා අත්‍යවශ්‍ය සහයක නිලධාරීන් පමණක් කාර්යාල වෙත වාර්තා කළ හැකියි. ඒ පිළිබඳ තීරණ ගැනීම අදාළ අමාත්‍යාංශ හා දෙපාර්තමේන්තු ප්‍රධානීන් විසින් සිදුකළ යුතුයි. කොරෝනා රෝග තත්වය පිළිබඳ කාලීන තොරතුරු සෞඛ්‍ය අමාත්‍යාංශයේ www.epid.gov.lk දරණ වසංගත රෝග විද්‍යා අංශයේ වෙබ් අඩවියෙන් ලබා ගත හැකියි. එම වෙබ් අඩවියේ සඳහන් උපදෙස් මාලාව රාජ්‍ය ආයතනවල වෙබ් අඩවියට ඇතුළත් කිරීම හෝ අදාළ වෙබ් අඩවියට ළගා විය හැකි දිගුවක් ලබාදීමට ක්‍රියා කරන ලෙස ද, චක්‍රලේඛයේ සඳහන්. කුමන් තත්වයක් යටතේ වුවත්, අත්‍යවශ්‍ය මහජන සේවාවන් පවත්වාගෙන යාමට පියවර ගැනීමට නියමිතයි. විශේෂිත නිවාඩු ප්‍රකාශයට පත් වුවද, ආහාර,ඖෂධ,ජලය,විදුලිය,සෞඛ්‍ය සේවා හා ජාත්‍යන්තර බැංකු සේවාවන් ඇතුළු අත්‍යවශ්‍ය සේවාවන් අඛණ්ඩව පවත්වාගෙන යාමට බලධාරීන් පියවර ගත යුතු වෙයි.

    මෙවැනි ජාතික උවඳුරක දී අසත්‍ය ප්‍රචාර පතුරවන්නන් පිළිබඳ විමසිලිමත්ව කටයුතු කරන ලෙසත්, පිළිගත් මූලාශ්‍රවලින් ලද තොරතුරු මත පමණක් කටයුතු කළ යුතු බවත්, චක්‍රලේඛනයේ දැක්වෙයි.

    Last modified on සදුදා, 16 මාර්තු 2020 12:33

    Latest News