මහ මැතිවරණයට නාම යෝජනා භාරගැනීම අද (12) සිට ලබන 19 මධ්‍යහ්න 12.00 දක්වා (වීඩියෝ)

මාර් 12, 2020
  • ඉදිරි මහ මැතිවරණය සඳහා නාම යෝජනා භාරගැනීම අද (12) ආරම්භ වනවා.

    එය ලබන 19 වැනිදා මධ්‍යහ්න 12.00න් අවසන්වීමට නියමිතයි. මහ මැතිවරණය සඳහා ලියාපදිංචි ඡන්ද සංඛ්‍යාව එක්කෝටි හැට දෙලක්‍ෂ හැට තුන් දහස් අටසිය අසූපහක්. සමානුපාතික නියෝජන ක්‍රමය යටතේ දිස්ත්‍රික් මට්ටමින් මන්ත්‍රීවරුන් 196 දෙනෙක් තෝරා ගැනීමට නියමිතයි. ජාතික ලැයිස්තුවෙන් තෝරා ගැනෙන මන්ත්‍රීවරුන් සංඛ්‍යාව 29ක්. 2015 වසරට සාපේක්‍ෂව ගාල්ල හා මාතර දිස්ත්‍රික්කයෙන් එක් මන්ත්‍රීධූරය බැගින් අඩු වී තිබෙනවා.

    එය ලබාදී ඇත්තේ, බදුල්ල සහ මොණරාගල දිස්ත්‍රික්කවලටයි. පිළිගත් දේශපාලන පක්‍ෂ 46ක් මහ මැතිවරණයට ඉදිරිපත් වන බව දන්වා ඇතැයි, මැතිවරණ කොමිෂන් සභාව පවසනවා. 1977 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව යටතේ මෙවර මැතිවරණයෙන් මන්ත්‍රීවරුන් තෝරා ගැනෙන්නේ නව වැනි පාර්ලිමේන්තුව සඳහායි.

    මැතිවරණ දිස්ත්‍රික්ක 22ක් සඳහා වූ මැතිවරණය අප්‍රේල් 25 වැනිදා පැවැත්වීමට නියමිතයි. නව කොරෝනා වෛරසය පැතිරයාම පදනම් කර ගනිමින් මහ මැතිවරණය කල් දැමීමට තීරණය කර නැතැයි මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා පවසනවා.

    මැතිවරණ නීති උල්ලංඝනය කිරීම් පිළිබඳ පැමිණිළි ජාතික මැතිවරණ පැමිණිළි කළමනාකරණ මධ්‍යස්ථානය වෙත දැනුම් දෙන ලෙස මැතිවරණ කොමිෂන් සභාව ජනතාවගෙන් ඉල්ලා සිටිනවා. දුරකතන අංක 011-2886179, 011-2886421 හා ෆැක්ස් අංක 011-2886551

    Last modified on බ්‍රහස්පතින්දා, 12 මාර්තු 2020 08:00

    Latest News