COVID-19 නිසා ලෝක කොටස්‌ වෙළෙඳපොළ සීඝ්‍ර පසුබෑමක

පෙබ 28, 2020

    COVID-19 වෛරසය හේතුවෙන්‌ ලෝක කොටස්‌ වෙළෙඳපොළ සීඝ්‍ර පසුබෑමකට ලක්ව ඇති බව වාර්තාවේ.

    අමෙරිකාවේ ප්‍රධාන කොටස්‌ වෙළෙඳපොළ දැඩි පසුබෑමකට ඊයේ ලක්වූ අතර එය 4.4% ක පහළ යාමක්‌ බවයි වාර්තා වන්නේ. එමෙන්ම බ්‍රිතාන්‍යයේ ලන්ඩන්‌, ජපානයේ නික්කෙයි ඇතුළු යුරෝපීය හා ආසියානු ප්‍රධාන කොටස්‌ වෙළෙඳපොළ රැසක්‌ ද දැඩි පසුබෑමකට ලක්ව ඇත. ඉකුත්‌ දින 06 පුරා ගෝලීය කොටස්‌ වෙළෙඳපොළ සිදුවූ පහළ යාමෙන්‌ අමෙරිකානු ඩොලර් ට්‍රිලියන 3.6 ක වටිනාකමක්‌ අහිමිව ඇති බවයි වාර්තා වන්නේ.

    මේ අතර, COVID-19 වෛරසය රටවල්‌ 50 කට ආසන්න සංඛ්‍යාවකට මේ වන විට බලපෑම්‌ එල්ල කර තිබේ. වෛරසය මුල්වරට ව්‍යාප්ත වූ චීනයෙන්‌ පිටත රටවල්‌ රැසක එය සීඝ්‍රයෙන්‌ ව්‍යාප්ත විම ඊට හේතුවයි. ඉරානය හා ඉතාලියට COVID-19 වෛරසයෙන් දැඩි බලපෑම් එල්ල කර තිබේ. ඉරානයේ උප ජනාධිපතිවරියක වන මසොඋමේ එබ්තෙකාර්ට ද වෛරස වැළඳී ඇත්තේ, එරට එම වෛරසය වැළඳුණු 07 වැනි ඉහළ පෙළේ නිලධාරියා බවට පත්වෙමිනි.

    කොවිඩ්‌ නයින්ටීන්‌ වෛරසය ගෝලීය වසංගත තත්වයක්‌ බවට පත්වීමේ අවදානමක්‌ මතුව ඇති බව ලෝක සෞඛ්‍ය සංවිධානය පසුගියදා ප්‍රකාශ කළේය. මෙම වෛරසය ව්‍යාප්තිය පාලනය සඳහා රටවල්‌ රැසක්‌ දැඩි පරිශ්‍රමයක නිරතව සිටිති. වෛරසය ආසාදනය වූ ගෝලීය සංඛ්‍යාව 80,000කට අධිකයි. 2,800කට ආසන්න පිරිසක් මින් මියගොස් තිබේ.

    Latest News