සංචාරක කලාප ආශ්‍රිත යටිතල පහසුකම් සංවර්ධනයට රජයේ අවධානය

පෙබ 27, 2020

    සංචාරක කලාප ආශ්‍රිත යටිතල පහසුකම් සංවර්ධනය සදහා රජයේ විශේෂ අවධානය යොමුව ඇතැයි කාර්මික අපනයන, ආයෝජන ප්‍රවර්ධන සංචාරක හා ගුවන් සේවා අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පවසයි.

    ඔහු අවධාරණය කරන්නේ ඉදිරි අයවැයෙන් මේ සදහා අවශ්‍ය ප්‍රතිපාදන වෙන් කරන බවයි.බේරුවල, කළුවාමෝදර වෙරළ ආශ්‍රිත සංචාරක කලාප පවතින අඩුපාඩු සොයා බැලීම සදහා ඊයේ (26) කළ නිරීක්ෂණ චාරිකාවකින් අනතුරුව ඇමතිවරයා මෙම අදහස් පල කළේය.

    බේරුවල සංචාරක කලාපයට ආශ්‍රිතව බොහෝ සංචාරක හෝටල් වැසී ගොස් ඇති බවත් එම කලාප වල යටිතල පහසුකම් නැංවීමට පසුගිය රජයෙන් කිසිදු පියවරක් ගෙන නොමැති බවත් මෙහිදි එම ප්‍රදේශවාසීන් ප්‍රකාශ කළේය.

    සංචාරක කර්මාන්තය කඩා වැටීමෙන් මෙම ප්‍රදේශයේ 30,000 කට පමණ තම ජීවනෝපායන් ද අහිමිවී ගොස් ඇතැයි මෙහිදි ප්‍රකාශ කෙරිණ.

    අමාත්‍යවරයා මෙහිදි පෙන්වා දුන්නේ සංචාරක කලාප ආශ්‍රිතව මාර්ග, රෝහල්, වැසිකිලි කැසිකිලි ඇතුළු යටිතල පහසුකම් සංවර්ධනයට දැනටමත් අවධානය යොමුව ඇති බවයි.

    ප්‍රධාන දුම්රිය ස්ථාන සංචාරක ගමනාන්තය හා ප්‍රධාන සංචාරක මාර්ග වල හදුනාගත් ස්ථාන වල සියළු පහසුකම් වලින් සමන්විත පහසුකම් මධ්‍යස්ථාන (Comfort Centers) ඇති කිරීමටද අපෙක්ෂා කෙරේ.

    දැනටමත් අමාත්‍යාංශය මේ සදහා සුදුසු ස්ථාන හදුනාගෙන ඇත. මෙම පහසුකම් මධ්‍යස්ථානවල සනීපාරක්ෂක පහසුකම් අවන්හල්, මුදල් හුවමාරු මධ්‍යස්ථාන වැනි සංචාරකයින්ට අවශ්‍යය සියළුම පහසුකම් සැලසෙන අතර ඒවා ජාත්‍යන්තර ප්‍රමිතියෙන් යුතුව ඉදිකිරීමට නියමිත බව ඇමතිවරයා ප්‍රකාශ කළේය.

    දැනට වැසී ගොස් ඇති සංචාරක හෝටල් හිමියන්ට ඒවා නැවත ආරම්භ කිරිම සදහා සහයෝගය ලබා දීම කෙරෙහිද රජයේ අවධානය යොමුව ඇතැයි ඇමතිවරයා මෙහිදි කියා සිටියේය. සහන පදනම යටතේ ඔවුන් වෙනුවෙන් ණය යොජනා ක්‍රමයක් හදුන්වා දීම කෙරෙහි කැබිනට් මණ්ඩලය සමග සාකච්ඡා කිරීමට අපේක්ෂා කරන බවද ඔහු කියා සිටියේය.

    සංචාරක ව්‍යාපාරය නැංවීම සදහා පසුගිය රජයට කිසිදු සැලැස්මක් හෝ දැක්මක් නොතිබූ බවත් 2009 වර්ෂයේ යුද්ධය අවසන් වීමෙන් පසු දියුණුවෙමින් පැවති සංචාරක ව්යාබපාරය යහපාලන රජය බලයට පත්වීමත් සමග සම්පුර්ණයන්ම කඩා වැටුණු බවත් ඇමතිවරයා ප්‍රකාශ කළේය.

    වත්මන් රජයේ නව දැක්මකින් සංචාරක ව්‍යාපාරය නැංවීමට අවශ්‍ය පියවර ගනිමින් සිටින බවද ඇමතිවරයා මෙහිදි වැඩි දුරටත් කියා සිටියේය.

    Last modified on බ්‍රහස්පතින්දා, 27 පෙබරවාරි 2020 12:18

    Latest News