සංවර්ධන නිලධාරීන්ට සේවා ව්‍යවස්ථාවක් සකසනවා...ඇමති ජනක බණ්ඩාර

පෙබ 27, 2020

    සංවර්ධන නිලධාරීන් සඳහා සේවා ව්‍යවස්ථාවක් අප්‍රේල් 30ට පෙර සකස් කරන බව අමාත්‍ය ජනක බණ්ඩාර තෙන්නකෝන් මහතා පවසයි.

    ඔහු මේ බව කියා සිටියේ, ප්‍රගතිශීලී වෘත්තීය සමිති සම්මේලනයේ නියෝජිතයන් සමග කොළඹ ඊයේ පැවති සාකච්ජාවේදී. සංවර්ධන නිලධාරීන් නොගැලපෙන රාජකාරීවල යෙදවීම, නිසි කලට කාර්යක්ෂමතා කඩඉම් විභාග නොපැවැත්වීම හා ඔවුන් ස්ථීර කිරීමේ දී මතුව ඇති ගැටලු සම්බන්ධයෙන් මෙහිදී අවධානය යොමු කෙරිණ. අමාත්‍යවරයා කියා සිටියේ, නොගැලපෙන සේවාවන්හි යෙදවීම ඉවත් කිරීම සඳහා වන චක්‍රලේඛය ලබන සතියේ නිකුත් කරන බවයි. සේවා ව්‍යවස්ථාව සකස් කිරීම සඳහා අමාත්‍යාංශ අතිරේක ලේකම්වරයෙකුගෙන් සමන්විත කමිටුවක් පත්කිරීමට නිලධාරීන් උපදෙස් දෙනු ලැබීය.

    රාජ්‍ය නිලධාරීන්ට විශාල ගැටලුවක්ව පවතින දෙවැනි භාෂා විභාගය වෙනුවෙන් පාඨමාලාවක් හඳුන්වාදීම සඳහා වන කැබිනට් පත්‍රිකාව ලබන සතියේ ඉදිරිපත් කිරීමට නියමිතයි. අනවශ්‍ය දේශපාලන උසිගැන්වීම්වලට හසු නොවී, රජය කෙරෙහි විශ්වාසයෙන් කටයුතු කරන ලෙස ජනක බණ්ඩාර තෙන්නකෝන් මහතා වෘත්තීය සමිති නියෝජිතයන්ගෙන් මෙහිදී ඉල්ලීමක් කළේය.

    Last modified on බ්‍රහස්පතින්දා, 27 පෙබරවාරි 2020 11:42

    Latest News