සුදු වෑන් මාධ්‍ය සාකච්ඡා ගැන අධිකරණයට විශේෂ දැනුම්දීමක්

පෙබ 27, 2020

    පසුගිය ජනාධිපතිවරණය සමයේ මහත් ආන්දෝලනයකට තුඩුදුන් සුදු වෑන් මාධ්‍ය සාකච්ඡා සිද්ධිය සම්බන්ධයෙන් හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතා ඇතුළු සැකකරුවන් හතර දෙනකුට එරෙහිව සිදු කරන පරීක්ෂණ කටයුතු ඉදිරි සති තුනක කාලයක් තුළ අවසන් කිරීමට හැකි වනු ඇතැයි, රජයේ නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්  පිරිස් මහතා කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය දැනුම් දුන්නේය.

    මෙම පැමිණිල්ල අද කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය ඉදිරියෙන් කැඳවනු ලැබූ අවස්ථාවේදී මෙම දැනුම්දීම සිදු කළේය. පැමිණිල්ල අද කැඳවනු ලැබූ අවස්ථාවේදී එහි සැකකරුවන් ලෙස නම් කර සිටින හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න සහ රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ හිටපු සභාපති මොහොමඩ් රූමි යන අය අධිකරණය හමුවේ පෙනී සිටියේය.
    අදාළ මාධ්‍ය සාකච්ඡාවේ දී සුදු වෑන් රියදුරන් වශයෙන් පෙනී සිටි සරත් කුමාර සහ අතුල සංජීව මදනායක යන සැකකරුවන් දෙදෙනා අද දින නඩුව කැඳවනු ලැබූ අවස්ථාවේදී අධිකරණය පෙනී නොසිටියේය. මෙම සැකකරුවන් දෙදෙනා පෙනී නොසිටීම සම්බන්ධයෙන් මහෙස්ත්‍රාත්වරියා රහස් පොලිසියෙන් ප්‍රශ්න කළාය.
    ඊට ප්‍රතිචාර දක්වමින් රහස් පොලිසියේ නිලධාරීන් අධිකරණයට කියා සිටියේ මෙම සැකකරුවන් දෙදෙනා ඉකුත්දා සිදුවූ මංකොල්ලකෑම් සිද්ධියක් සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙන බවට තොරතුරු ලැබී ඇති බවයි.
    ඉන් අනතුරුව පරීක්ෂණවල ප්‍රගතිය අධිකරණයට වාර්තා කළ රජයේ නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් දිලීප පිරිස් මහතා මෙම නඩුවට පාදක වන මාධ්‍ය සාකච්ඡාවේ දී සුදු වෑන් රථ රියදුරන් වශයෙන් පෙනී සිටී සරත් කුමාර සහ අතුල සංජීව මදනායක යන සැකකරුවන් දෙදෙනා ඉකුත්දා කටහඬ පරීක්ෂණයකට භාජනය කළ බවත් එහිදී ඔවුන්ගේ කටහඬ රූපවාහිනී මාධ්‍ය ආයතන වලින් ලබාගත් අදාළ මාධ්‍ය සාකච්ඡාවේ දර්ශන අඩංගු වීඩියෝ දර්ශන වල පවතින කටහඬ සමග සමපාත වන බවට රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුව මගින් වාර්තාවක් ඉදිරිපත් කර ඇති බව දන්වා සිටියේය.
    මෙම ප්‍රශ්නගත මාධ්‍ය සාකච්ඡාව හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතාගේ මාධ්‍ය සම්බන්ධීකරණ නිලධාරියකු වන  මලිත් විජේනායක නැමැත්තා විසින් සිදුකර ඇති බවට අනාවරණය වී තිබෙන බවත් ඔහුගෙන් ප්‍රකාශයක් ලබාගැනීමට අවශ්‍යව තිබෙන බවත් රජයේ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා දන්වා සිටියේය.
    සමස්තයක්  වශයෙන් මෙම සිද්ධියට අදාළ විමර්ශන කටයුතු බොහෝදුරට අවසන් වී ඇති බවත් සම්පූර්ණ විමර්ශන කටයුතු ඉදිරි සති තුනක පමණ කාලයක් තුළ අවසන් කිරීමට හැකියාව ලැබෙනු ඇති බවත් රජයේ නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරයා අධිකරණයට දන්වා සිටියේය.
    මෙහිදී හතරවන වන සැකකරු ලෙස නම් කර සිටින රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ හිටපු සභාපති මොහොමඩ් රූමි වෙනුවෙන් පෙනී සිටි නීතිඥ ගුණරත්න වන්නිනායක මහතා ඉල්ලීමක් කරමින් ශ්‍රී ලංකා තේ මණ්ඩලය මගින් විදේශයක පවත්වන ප්‍රදර්ශනයට සහභාගි වීම සඳහා තම සේවාදායකයාට අප්‍රේල් මස 10 වැනිදා සිට 25 දක්වා කාලසීමාව තුළ විදේශ ගතවීමට අවශ්‍යව තිබෙන බවත් ඒ සඳහා ඔහුට අධිකරණය මගින් පනවා තිබෙන විදෙස් ගමන් තහනම තාවකාලික ලෙස ඉවත් කරන ලෙස ඉල්ලා සිටියේය.
    ඊට ප්‍රතිචාර දක්වමින් රජයේ නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරයා අධිකරණයට දන්වා සිටියේ එම ඉල්ලීම සම්බන්ධයෙන් සිය ප්‍රතිචාරය දැක්වීම සඳහා අදාල ලේඛණ පරික්ෂා කිරීමට අවශ්‍ය බව දැනුම් දුන්නේය.
    ඒ අනුව මෙම ඉල්ලීම සම්බන්ධයෙන් මාර්තු මස තුන් වැනිදා කරුණු සලකා බලන බව නියෝග කළේය. එදින මෙම නඩුවට සම්බන්ධ සරත් කුමාර සහ අතුල සංජීව මදනායක යන සැකකරුවන් එදින වන විට රිමාන්ඩ් භාරයේ සිටියේ නම් ඔවුන් එදින අධිකරණයට ඉදිරිපත් කිරීමට පියවර ගන්නා ලෙස ද මහේස්ත්‍රාත්වරිය විසින් මහර බන්ධනාගාර අධිකාරිවරයාට නියෝග කළේය.
    ඉන් අනතුරුව නඩුවේ  පරීක්ෂණ වල ඉදිරි ප්‍රගතිය විමසීම සඳහා පැමිණිල්ල නැවත අප්‍රේල් මස 03 වැනිදා කැඳවන ලෙස මහේස්ත්‍රාත්වරිය නියම කළාය.
    .
    Last modified on බ්‍රහස්පතින්දා, 27 පෙබරවාරි 2020 11:32

    Latest News