30/1 යෝජනාවෙන් නිල වශයෙන් ඉවත්වීමට ශ්‍රී ලංකා රජය පියවර ගනී (වීඩියෝ)

පෙබ 26, 2020
  • ජිනීවා මානව හිමිකම් යෝජනාවල සම අනුග්‍රාහකත්වයෙන් නිල වශයෙන් ඉවත්වීමට ශ්‍රී ලංකා රජය අද පියවර ගත්තේය.

    මේ බව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයට දැනුම් දෙනු ලැබුවේ විදේශ අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා විසින්. දේශීය අවශ්‍යතා හා ප්‍රතිපත්ති පදනම් කර ගනිමින් ශ්‍රී ලංකා රජය ගෙන යන වැඩපිළිවෙළට සහය දක්වන්නැයි විදේශ අමාත්‍යවරයා මානව හිමිකම් කවුන්සිලයේ සාමාජිකයන්ගෙන් ඉල්ලීමක් කළේය.

    එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 43 වැනි සැසිවාරය ස්විට්සර්ලන්තයේ ජිනීවා නුවර දී දැන් පැවැත්වේ. ඉකුත් සඳුදා ඇරඹ් එය ලබන මස 20 වැනිදා දක්වා පැවැත්වීමට නියමිතයි. අද පැවති විශේෂ සැසිවාරයේ දී විදේශ අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා මානව හිමිකම් යෝජනා පිළිබඳ ශ්‍රී ලංකා නව රජයේ ස්ථාවරය පැහැදිළි කළේය.

    පසුගිය රජය සම අනුග්‍රාහකත්ව ක්‍රියාවලිය පිළිගැනීමේදී සිදු කළ වැරදි පිළිබඳව ද අමාත්‍යවරයා මානව හිමිකම් කවුන්සිලය දැනුවත් කළේය.
    සම අනුග්‍රාහකත්වය ඉවත් කර ගත්තද, ශ්‍රී ලංකා රජය අන්තර් ජාතික සබඳතා මෙන්ම, තම වගකීම් ද කිසිසේත් පැහැර නොහරින බව අමාත්‍යවරයා අවධාරණය කළේය.

    අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා ප්‍රමුඛ දූත පිරිස හෙට පැවැත්වෙන මහ කොමසාරිස්වරියගේ විශේෂ වාර්තාව ඉදිරිපත් කිරීමේ සැසිවාරයට ද සහභාගි වේ. එහිදී අමාත්‍යවරයා යළිත් ශ්‍රී ලංකාව වෙනුවෙන් කරුණු දැක්වීමට නියමිතයි.

    Last modified on බදාදා, 26 පෙබරවාරි 2020 20:25

    Latest News