තමා නේවි සම්පත් නොවේ; ප්‍රසාද් චන්දන හෙට්ටිආරච්චි (වීඩියෝ)

පෙබ 26, 2020
  • බන්ධනාගාරගත කර සිටි නාවික හමුදා බුද්ධි අංශයේ හිටපු නිලධාරියෙකු වන ප්‍රසාද් චන්දන හෙට්ටිආරච්චි මහතා 2015 සිට 2016 දක්වා දේශපාලන පලිගැනීම් පිළිබඳ පරීක්‍ෂා කරන ජනාධිපති කොමිෂන් සභාවට අද දෙවැනි දිනටත් සාක්‍ෂි ලබා දුන්නේය.

    ඔහුට චෝදනා එල්ල වී ඇත්තේ, නඩරාජා රවිරාජ් ඝාතන සිද්ධිය සම්බන්ධයෙන්. ඇතැම් ස්ථානවල තමා නේවි සම්පත් ලෙස හැඳින්වුව ද, තමන් සේවි සම්පත් නොවන බව සාක්‍ෂි ලබා දෙමින්, ප්‍රසාද් චන්දන හෙට්ටිආරච්චි මහතා අද සඳහන් කළේය.

    නඩුවේ බී වාර්තා ඇතුළු ලේඛන රැසක් අද කොමිෂන් සභාවට ඉදිරිපත් කෙරිණ. සාක්‍ෂි දෙමින් ප්‍රසාද් චන්දන හෙට්ටිආරච්චි කියා සිටියේ, අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව නඩරාජා රවිරාජ් ඝාතන සිද්ධියට තමා සම්බන්ධ කිරීමට උත්සාහ දැරූ බවයි. පැවති රජය 2015 වසරේ බලයට පත්වීමෙන් පසු රජයේ සාක්‍ෂිකරුවෙකුව සිටි ප්‍රීති විරාජ් නමැත්තාගේ නිවසට ගොස් අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව ප්‍රකාශයක්සටහන් කර ගෙන ඇති බවත්, එම ප්‍රකාශයෙන් තමා ඇතුළු නාවික සෙබළුන් තිදෙනෙකු අදාළ ඝාතනයට සම්බන්ධ කර ඇති බවත්, ප්‍රසාද් චන්දන හෙට්ටිආරච්චි මහතා සාක්‍ෂි දෙමින් සඳහන් කළේය.

    පැවති රජය බලටය පත්වී 2015 මාර්තු 15 වැනි දින තමා අත්අඩංගුවට ගත් අතර, එම රජය බලයට පත්වීමෙන් අනතුරුව අත්අඩංගුවට ගත් පළමු නාවික බුද්ධි නිලධාරියා තමන් බව ද කොමිසම හමුවේ ප්‍රකාශ කෙරිණ. නඩරාජා රවිරාජ් ඝාතන සිද්ධියේ නඩු කටයුතුවලදී ඇතැම් ස්ථානවල තමන් නේවි සම්පත් ලෙස හැඳින්වීමට අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව කටයුතු කළ ද තමා නේවි සම්පත් නොවන බව, ප්‍රසාද් චන්දන හෙට්ටිආරච්චි මහතා කියා සිටියේය. ඒ හේතුවෙන් තම බිරිඳ හා දරුවන් අපහසුතාවට පත්වූ බව ද සඳහන් කෙරිණ.

    හිටපු ආරක්‍ෂක ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ මහතා සහ හිටපු නාවික හමුදාපති අද්මිරාල් වසන්ත කරන්නාගොඩ මහතා අදාළ ඝාතන සිද්දියට සම්බන්ධයක් පවතින බවට තමා මගින් පෙන්වීමට අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව එවක උත්සාහ දැරූ බවට තමන්ට හැඟී ගිය බවද ප්‍රසාද් චන්දන හෙට්ටිආරච්චි ජනාධිපති පරීක්‍ෂණ කොමිෂන් සභාව හමුවේ ප්‍රකාශ කළේය. අද දින කරුණු සලකා බැලීමෙන් අනතුරුව මෙහි වැඩිදුර සාක්‍ෂි විභාගය මාර්තු 04 වැනි දින උදේ 10.00 තෙක් කල් තැබිණ.

    Last modified on බදාදා, 26 පෙබරවාරි 2020 20:10

    Latest News