දින 100ක දී කළ මෙහෙයක් (වීඩියෝ)

පෙබ 25, 2020
  • නව රජය ශ්‍රී ලාංකීය අනන්‍යතාව රැක ගනිමින් ඕනෑම දියුණු රටක් සමඟ සමව සිටගත හැකි ආර්ථිකයක් ගොඩනැගීමේ ක්‍රියාවලිය ආරම්භ කර අදට දින 100ක් සම්පූර්ණ වේ.

    එම කාලසීමාවේ රටේ උන්නතියට සහ ජනතාවගේ යහපත වෙනුවෙන් ගනු ලැබූ තීන්දු තීරණ සමූහයක් පිළිබඳ විමසා බැලීමක් මේ...


    මෙම වැඩපිළිවෙළේ පළමු අදියරේ ප්‍රමුඛ වැඩසටහන් ලෙස ආරම්භ කෙරුණේ, පාසල් දහසක් ජාතික පාසල් ලෙස සංවර්ධනය කිරීමයි. උසස් පෙළ සමත්වන සියලු සිසුන්ට සරසවි වරම් සහතික කිරීම නැණ ගුණයෙන් පිරී පරපුරක් රටට දායාද කිරීමේ අරමුණෙන් රජය ගත් තවත් වැදගත් තීන්දුවක්. ඒ වෙනුවෙන් විශ්වවිද්‍යාල හා විශ්වවිද්‍යාල විද්‍යායතන සියල්ලෙහිම පහසුකම් වැඩි දියුණු කෙරේ.

    ඉතා දිළිඳු පවුල්වල රැකියා සඳහා කිසිදු සුදුසුකමක් නොලත් තරුණ-තරුණියන්ට කාර්ය සාධන බලකායක් යටතේ, රැකියා ලක්‍ෂයක් බිහි කරමින් ඔවුන් ආර්ථික වශයෙන් නඟා සිටුවීමේ වැඩපිළිවෙළ ද ඉකුත් ජනවාරි මස ආරම්භ කෙරිණ.

    ජාතික ආරක්‍ෂක විද්‍යායතනයක් ස්ථාපනය කර ජාතික ආරක්‍ෂාව පිළිබඳ ඉහළ මට්ටමේ පාඨමාලා සකස් කිරීමට කෙටුම්පත් සකස් කරනු ලැබුවේ ද රජයේ වැඩපිළිවෙළේ මුල් අදියර යටතේයි. විවිධ ක්‍රියාකාරකම් රැකියා වියුක්තිය අවම කිරීමේ වැඩපිළිවෙළ යටතේ රැකියා විරහිත උපාධිධාරීන් සේවා නියුක්ත කිරීමේ ව්‍යාපෘතියට අයදුම් කළ හැකි වයස් සීමාව අවුරුදු 45 දක්වා ඉහළ නැංවීම ද රජයේ දින 100 ඇතුළත ගත් තවත් සාධනීය පියවරක්.


    රාජ්‍ය සේවය ශක්තිමත් කිරීම සඳහා ද මේ වනවිටත් විවිධ ක්‍රියාමාර්ග ගෙන තිබේ. රාජ්‍ය ආයතනවලට ප්‍රධානීන් පත් කිරීමේදී විශේෂ විද්වත් කණ්ඩායමකින් යුත් කමිටුවේ නිර්දේශ ලබා ගැනීම, රාජ්‍ය ආයතනවල ජනාධිපතිතුමාගේ හා විෂයභාර අමාත්‍යවරුන්ගේ ඡායාරූප වෙනුවට රාජ්‍ය ලාංඡනය ප්‍රදර්ශනය, රාජ්‍ය ආයතන ප්‍රධානීන්ගේ වැටුප් සංශෝධනය සහ ඉතා ඉහළ වැටුප් ලබාගත් සභාපතිවරුන්ගේ වැටුප් තල පහළට ගෙන ඒම ඒ අතර ප්‍රධානයි. රාජ්‍ය ආයතනවල අනවශ්‍ය සියලු උත්සව අත්හිටුවීමට උපදෙස්දීම ද දින 100 ඇතුළත ගනු ලැබූ වැදගත් ක්‍රියාමාර්ගයක්. කාර්යක්‍ෂම ජනතා සේවයක් උදෙසා සියලු රාජ්‍ය ආයතන එකම දත්ත ජාලයකට යොමු කිරීම හා 1919 රාජ්‍ය තොරතුරු කේන්ද්‍රය වහා යාවත්කාලීන කිරීම ද රාජ්‍ය සේවය වෙනුවෙන් ගැනුණු විශේෂ ක්‍රියාමාර්ග අතරවේ.


    ආර්ථිකයේ උන්නතිය වෙනුවෙන් සංචාරක කර්මාන්තයේ වේගවත් ප්‍රවර්ධනයකට ද සැලසුම් සකස් කෙරිණ. ඒ යටතේ 2025 වන විට සංචාරක ක්‍ෂේත්‍රයෙන් අපේක්‍ෂිත වාර්ෂික ආදායම අමෙරිකානු ඩොලර් මිලියන 10ක්. රුපියල් මිලියන 300 නොඉක්මවන සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන් ලබාගෙන ඇති ණය යළි අයකර ගැනීමේදී ඇපයට තබා ඇති දේපල වෙන්දේසිය වහා අත්හිටුවීමට ද උපදෙස් දී තිබේ. සාම්ප්‍රදායික සුළු කර්මාන්තවල නිරත කර්මාන්තකරුවන්ට අමුද්‍රව්‍ය ලබාගැනීමේදී සිදුවූ අපහසුතා වැළැක්වීමට අදාළ සංශෝධන ද හඳුන්වා දුන්නේ ඉකුත් දින 100 ඇතුළතයි.


    මසකට රුපියල් දෙකෝටියකට අධික කුලී මුදලක් ගෙවූ කෘෂිකර්ම අමාත්‍යාංශය පෞද්ගලික ගොඩනැගිල්ලෙන් ඉවත් කර යළි ගොවිජන මන්දිරයට රැගෙන යාම ද පසුගියදා සිදු කෙරිණ. ගම්මිරිස්, කුරුඳු ඇතුළු සුළු අපනයන බෝග ආනයනය නතර කිරීම හා මහ කන්නයේ වී කිලෝවකට රුපියල් 50ක අවම සහතික මිලක් නියම කිරීම, දේශීය කෘෂිකර්මාන්ත ක්‍ෂේත්‍රය සහ ගොවියා ඉහළ නැංවීමට ගනු ලැබූ ක්‍රියාමාර්ග අතර වේ.


    රාජ්‍ය මාධ්‍ය ස්වාධීන ආයතන බවට පත්කිරීම, ජනාධිපති කාර්ය මණ්ඩල හා පරිවාර රථ සීමා කරමින් ජනපති නිල නිවස ලෙස සිය පදිංචි නිවසම තෝරා ගැනීම ද ජනතාවට හිතැති රාජ්‍ය පාලනයක් වෙනුවෙන් ජනාධිපතිතුමා ලබාදුන් ආදර්ශ අතර වේ. භාරකාර ආණ්ඩුවේ කැබිනට් මණ්ඩලය 16 දෙනෙකුට සීමා කරමින් අනාගත රජයේ අමාත්‍ය මණ්ඩලය සීමාකරන බවට ජනතාවට දුන් පොරොන්දුව ද දින 100 ඇතුළත ඉටු කෙරිණ. ධූරකාල සීමාව තුළ සැසිවාර ආරම්භය වැනි උත්සවවලදී අනවශ්‍ය මුදල් නාස්තිය වළක්වා ගැනීමට ජනාධිපතිතුමා විවිධ පියවර ගැනීම ද දින සියයේ සාධනීය පියවරක් ලෙස හඳුන්වා දිය හැකිය.


    අනුකූලතා සහතිකය එක් දිනකින් නිකුත් කිරීම, ග්‍රාමීය යටිතල පහසුකම් නංවමින් මාර්ග කිලෝමීටර ලක්‍ෂයක් සංවර්ධනය, ග්‍රාමීය ජනතාව වෙනුවෙන් පානීය ජල සබඳතා එක් ලක්‍ෂ පනස් දහසක් ලබාදීමට පියවර ගැනීම සහ වැට් බදු 8% දක්වා පහත හෙලීම පොදුජන යහපත වෙනුවෙන් ගනු ලැබූ වැදගත් තීන්දු අතරවේ.


    දුරකතන ගාස්තු මත අය කෙරුණු බද්ද 25%කින් පහත හෙළනු ලැබීය. පාතලය සහ මත්ද්‍රව්‍ය මැඩලීම සඳහා පොලිස් විශේෂ කාර්ය බලකායට බලතල ලබාදීම මෙන්ම යම් සිද්ධියක් සම්බන්ධයෙන් සැකකරුවන් අත්අඩංගුවට ගැනීමේදී නිවැරදි විමර්ශනයක් සිදුකර අදාළ පුද්ගලයන් පමණක් අත්අඩංගුවට ගැනීම හා පුද්ගලයන් නිකරුණේ අත්අඩංගුවට ගෙන රඳවා තබා ගැනීම වැනි ක්‍රියා සිදු නොවීමට වගබලා ගැනීම ද ගෙවුණු දින 100 ඇතුළත ගත් වැදගත් තීරණයක්. අඩුආදායම්ලාභී ජනතාව නඟා සිටුවීම සඳහා විශේෂ වැඩපිළිවෙළ ගණනාවක් ද ක්‍රියාවට නංවා තිබේ. ඔවුන් වෙනුවෙන් අඩු මිලට අත්‍යවශ්‍ය ආහාර සැපයීමේ ජාතික වැඩපිළිවෙළ ක්‍රියාත්මක කිරීම, සෑම ග්‍රාම සේවා වසමකින්ම අඩු ආදායම්ලාභී නිවාස නොමැති පවුලක් තෝරාගෙන ඔවුන් වෙනුවෙන් නිවසක් බැගින් දිවයින පුරා නිවාස දහහතර දහසක් ඉදිකිරීමේ වැඩපිළිවෙළ ද බොහෝ දෙනාගේ ප්‍රසාදයට ලක් වූ ව්‍යාපෘති අතරවේ. දිවයිනේ ප්‍රධාන මාර්ග පද්ධතිය වැඩි දියුණු කරමින් මධ්‍යම සහ යෝජිත අධිවේගී මාර්ග කඩිනමින් ඉදි කිරීමට උපදෙස් ලබාදීමට ද පියවර ගැනිණ. කොළඹ මාර්ග තදබදය අවම කිරීමට කඩිනම් පියවර ගැනීම, පොදු ප්‍රවාහනය වැඩි දියුණු කිරීමට සැලසුම් සකස් කිරීම හා කොළඹ මුහුදුබඩ මාර්ගය පානදුර දක්වා දීර්ඝ කිරීමට වැඩපිළිවෙළක් සැකසීම මාර්ග සංවර්ධන ක්‍ෂේත්‍රයේ උන්නතිය වෙනුවෙන් ගත් තවත් පියවර කිහිපයක්.


    රටට එරෙහිව ක්‍රියාත්මක වන රාජ්‍ය නොවන සංවිධාන දහසකට අධික සංඛ්‍යාවක් නියාමනයට ද පියවර ගෙන තිබේ.


    දින 100 තුළ මුහුණ දීමට සිදුවූ හදිසි අවස්ථාවන්වලට කඩිනම් හා සාර්ථක විසඳුම් ලබාදීමට ද ජනාධිපතිතුමා ප්‍රමුඛ රජය පියවර ගත්තේය. “කොවිඩ් 19“ වෛරසය පැතිර යමින් තිබූ චීනයේ වෙසෙන සිසුන් ආරක්‍ෂිතව ගෙන්වා ගැනීම හා වෛරසයෙන් ශ්‍රී ලාංකික ජනතාව ආරක්‍ෂා කර ගැනීමට කඩිනම් ක්‍රියාමාර්ගවලට එළැඹීමට හිමි වන්නේ ඉන් ප්‍රමුඛස්ථානයක්. අන්තර් ජාතික වශයෙන් ශ්‍රී ලංකාවට ඉමහත් පිළිගැනීමක් අත්කර දෙමින් වූහාන් නගරයේ සිට සිසුන් මව්රටට ගෙන්වා ගත් සිව්වන රාජ්‍යය වූයේ ද ශ්‍රී ලංකාවයි. විවිධ සංවිධාන කොළඹ නගරයේ ඇතැම් ස්ථානවල පවත්වන උද්ඝෝෂණ හා විරෝධතා හේතුවෙන් සිදුවන අපහසුතා සහ මාර්ග තදබදය අවම කිරීමේ පියවරක් ලෙස උද්ඝෝෂකයින් වෙනුවෙන්ම ස්ථානයක් වෙන් කිරීමට ද ජනාධිපතිතුමා පසුගියදා පියවර ගත්තා. එහි පැවති උද්ඝෝෂණයක් අතරට පැමිණ විසඳුමක් ලබාදුන් මෙරට පළමු රාජ්‍ය පාලකයා බවට ද ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මැතිතුමා පත්ව සිටී. වැලිකඩ බන්ධනාගාරය, මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව ඇතුළු විවිධ ස්ථානවල කඩිනම් නිරීක්‍ෂණ චාරිකා සිදු කරමින් ඒවායෙහි පහසුකම් හා ජනතාව මුහුණ දෙන ගැටලු පිළිබඳව සොයා බැලීමට ද ජනාධිපතිතුමා ඉකුත් දින 100 තුළ ක්‍රියා කළේය.

    Latest News