මැණික් පතල් කැණීමට එක් දිනකින් බලපත්‍ර

පෙබ 25, 2020

    මැණික් පතල් කැණීම සඳහා එක් දිනකින් බලපත්‍ර නිකුත් කිරීමේ ජංගම සේවයක් ඊයේ ඩී ඒ රාජපක්ෂ අනුස්මරණ ශාලාවේදී පැවැත්විණ.

    රත්නපුර, මොණරාගල සහ හම්බන්තොට යන දිස්ත්‍රික්ක වල, මහවැලි ඉඩම්වල මැණික් පතල් කැණීම සඳහායි මෙම බලපත්‍ර නිකුත් කෙරුණේ. දිළිඳුකම පිටුදැකීම හා මැණික් කර්මාන්තය නගා සිටුවීම මෙහි අරමුණයි. මෙවැනි බලපත්‍ර එක් දිනක් තුළ නිකුත්කළ පළමු වතාව ලෙස මෙය ඉතිහාසයට එක් වෙයි. සාමාන්‍ය ක්‍රමවේදය තුළ බලපත්‍රය ලබා ගැනීමට මාස ගණනාවක් පුරා ආයතන රැසකට යාමට සිදුවීම නිසා ජනතාවගේ කාලයත්,මුදලත්,ශ්‍රමයත් විශාල ලෙස වැය වෙයි. මෙම නව ක්‍රමවේදය තුළින් ජනතාවට විශාල පහසුවක් අත්වෙයි.

    ජාතික මැණික් හා ස්වර්ණාභරන අධිකාරියේ හා ශ්‍රී ලංකා මහවැලි අධිකාරිය එක්ව එකම ස්ථානයක දී සියලුම ලිපි ලේඛන අනුමතකර ගැනීමේ හැකියාව බලපත්‍රලාභීන්ට හිමිවෙයි. මහවැලි අධිකාරියේ 300කට අධික පිරිසකට මෙම ජංගම සේවාව තුළින් බලපත්‍ර ලබා දීම සිදු කෙරිණ. මෙම සේවය ඉදිරියටත් පවත්වන බව ජාතික මැණික් හා ස්වර්ණාභරණ අධිකාරිය පවසයි.

    Last modified on අඟහරුවාදා, 25 පෙබරවාරි 2020 11:04

    Latest News