මධ්‍යම සහ සෙසු අධිවේගී මාර්ග කඩිනමි කිරීමට ජනපතිගෙන් උපදෙස්

පෙබ 14, 2020

    මධ්‍යම අධිවේගී මාර්ගය සහ සෙසු අධිවේගී මාර්ග කඩිනමින් ඉදිකරන්නැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා නිලධාරීන්ට උපදෙස් දෙයි.


    පළමු අදියරේ වැඩ අවසන්ව ඇති මාතර සිට හම්බන්තොට දක්වා අධිවේගී මාර්ගය නිසි ලෙස නිම කර විවෘත කළ යුතුය. මධ්‍යම අධිවේගී මාර්ගයේ කඩවත සිට මීරිගම හරහා කුරුණෑගල දක්වාත්, කුරුණෑගල සිට දඹුල්ල දක්වාත්, පොතුහැර සිට ගලගෙදර දක්වාත් කොටස කඩිනමින් නිම කළ යුතු තවත් ව්‍යාපෘතියකි. මාර්ග සහ මහාමාර්ග අමාත්‍යාංයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සමග අද (14) ජනාධිපති කාර්යාලයේ පැවති හමුවේ දී ජනාධිපතිතුමා මේ උපදෙස් දුන්නේය.

    කඩවත සිට දඹුල්ල දක්වා අධිවේගී මාර්ගයේ වැඩ නිම වූ පසු රථ වාහනවලට උතුර, නැගෙනහිර සහ බටහිර පළාත්වලට කඩිනමින් පිවිසීමට පිළිවන. ජනතාවට වඩා පහසුවෙන් ගමන් බිමන් යාමට ඉඩ සැලසීම මෙහි අරමුණයි. මාර්ග පද්ධති අතර මනා සම්බන්ධතාවක් ඇති ආර්ථික කොරිඩෝවක් ඉන් නිර්මාණය වෙයි. ඉංගිරියේ සිට රත්නපුර දක්වා කි.මි 76ක මාර්ගය කඩිනමින් ඉදිකර ජාතික අධිවේගි මාර්ග පද්ධතියට එක් කෙරේ. එය දක්ෂිණ අධිවේගී මාර්ගයේ කහතුඩුවෙන් ඇරඹේ. නුවර උමං මාර්ගයේ ඉදිකිරීම් කඩිනම් කිරීම අධික මාර්ගද තදබදයට විසඳුමකි.

    දැනට අඩක් නිම කර ඇති මාර්ග සහ පාලම්වල ඉදිකිරීම් කඩිනමින් අවසන් කළයුතු බවත්, ග්‍රාමීය මාර්ග පද්ධතිය සෙසු මාර්ග පද්ධතියට සමගාමීව නවීකරණය විය යුතු බවත් ජනාධිපතිතුමා පැවසීය. ගාලු පාරේ සහ කඩුවෙල, හයිලෙවල් සහ පිළියන්දල මාර්ගවල කොළඹ දෙසට උදේ සවස පවතින වාහන තදබදයට විසඳුම් සෙවීම කඩිනම් කිරීමට ද ජනාධිපතිතුමා උපදෙස් දුන්නේය.

    අධික තදබදයක් ඇති වන ස්ථාන හඳුනාගෙන ගුවන් පාලම් සහ උමං පිවිසුම් ඉදි කරනු ලැබේ. දෙමටගොඩ, වනාතමුල්ල හරහා බත්තරමුල්ල දක්වා මාර්ගය ඉදිකිරීමේ හැකියාව විමර්ශනය කළයුතුය. එමගින් බොරැල්ල සහ රාජගිරිය මංසන්ධිවල තදබදයට විසඳුමක් ලැබේ.

    Latest News