"COVID -19" චීනයෙන්‌ පිටත ශීඝ්‍ර ව්‍යාප්තියක්‌ නැහැ - WHO

පෙබ 14, 2020

    කොරෝනා වෛරසය හෙවත්‌ "COVID -19" චීනයෙන්‌ පිටත සෙසු රටවල ශීඝ්‍ර ව්‍යාප්තියක්‌ දක්නට නොලැබෙන බව ලෝක සෞඛ්‍ය සංවිධානය පවසයි.

    "COVID -19" වෛරසයේ කේන්ද්‍රස්ථානය ලෙස සැලකෙන චීනයේ හුබෙයි පළාතෙන්‌ නව ආසාදිතයන්‌ 5,000 කට ආසන්න සංඛ්‍යාවක්‌ ඊයේ වාර්තා විය. ඒ අනුව, චීනයේ වෙරසය ආසාදනය වූ සමස්ත සංඛ්‍යාව 64,500 කට අධිකවේ. එසේවුවත් වූහාන්‌ නගරයේ හුඔෂෙන්ෂාන්‌ රෝහලෙන්‌ සුවය ලැබූ රෝගීන්‌ කණ්ඩායමක් ඊයේ සවස ඉන් පිටව ගිය බව වාර්තා විය. ඒ අනුව මෙම වෛරසය ආසාදනය වූ රෝගීන්ගේ සුවවීමේ වේගය ඉහළ ගොස්‌ ඇති බව ද වාර්තා වේ. පසුගිය 11 වන විට වෛරසය ආසාදනය වූ 5000කට ආසන්න පිරිසක් සුවය ලබා ඇති බවයි වාර්තා වන්නේ. චීනයේ නගර රැසක් මුළුමනින්ම නිරෝධායනය කිරීමට චීන බලධාරීන් පියවර ගෙන තිබේ. චීන වැසියන් වෛරසය ආසාදනය වීමෙන් වැළකීම සඳහා විවිධ ක්‍රියාමාර්ග අනුගමනය කරමින් සිටින බව වාර්තාවේ. විදුලි සෝපනවල ගමන් කිරීමේදී, අදාළ මහලේ අංකය සටහන් කිරීම සඳහා බොත්තම තදකිරීමට ලයිටර්, දත් පිරිසිදු කිරීමේ කූරු වැනි දෑ භාවිත කිරීම ඔවුහු පෙළඹී සිටින බව සඳහන් වේ.

    එමෙන්ම වෛද්‍ය උපකරණ ලබා ගැනීම සඳහා යුවාන් බිලියනකට අධික මුදලක් චීනයට ප්‍රදානය කිරීමට හොංකොං හි විවිධ කණ්ඩායම් පියවර ගෙන තිබේ. මේ අතර ආදරවන්තයින්ගේ දිනය සඳහා විවිධ භාණ්ඩ අලෙවි කරන සාප්පු, විවිධ සනීපාරක්ෂක ක්‍රියාමාර්ග අනුගමනය කිරීම ද දක්නට ලැබේ.

    ජපානයේ යොකොහාමා වරායේ නැංගුරම් ලා ඇති ඩයමන්ඩ් ප්‍රින්සස් නෞකාවෙන් මේ වන විට හමුවී ඇති "COVID -19" වෛරසය ආසාදිතයින්ගේ සංඛ්‍යාව 218කි. ජපානයේ සිදුවූ පළමු මරණය ද පසුගිය දා වාර්තා විය. මේ වෛරසයට නිසා චීනයෙන් පිටත රටවල මරණ තුනක් මේ වන විට වාර්තා වී ඇති අතර, හමුවී ඇති ආසාදිතියන්ගේ සංඛ්‍යාව 450කට ආසන්නවී ඇත. ඊයේ දිනයේදී තවත්‌ මරණ 116 ක්‌ වාර්තා වූ අතර මේ වන විට වෛරසයෙන්‌ මියගිය සංඛ්‍යාව 1,483 දක්වා ඉහළ ගොස්‌ තිබේ. රටවල් 28කට "COVID -19" වෛරසය ව්‍යාපත්වී තිබුන ද චීනයෙන් පිටත එහි ශීඝ්‍ර වර්ධනයක් දක්නට නොලැබෙන බවයි ලෝක සෞඛ්‍ය සංවිධානය පවසන්නේ.

    Latest News