අක්‍රමවත් උසස්වීම් නිසා ශ්‍රේෂ්ඨාධිකරණයේ නඩු ගොඩගැහිලා; අමාත්‍ය බන්දුල

පෙබ 13, 2020

    දීර්ඝ කාලයක සිට උසස්වීම් ලබා නැති පොලිස් කොස්තාපල්වරුන්, පොලිස් පරීක්‍ෂක තනතුර දක්වා උසස් කිරීමට රජය තීරණය කර තිබේ.

    පොලිස් නිලධාරීන්ට උසස්වීම් ලබාදීමේදී නිසි ක්‍රමවේදය අනුගමනය නොකිරීම නිසා ගැටලු රැසක් උද්ගතවී ඇති බව, අද පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී ප්‍රකාශ කෙරිණ. අදාළ උසස්වීම්, නිසි සුදුසුකම් සපුරා ඇති ස්ත්‍රී-පුරුෂ දෙපාර්ශවයටම හිමිවේ. පසුගිය කාලයේදී අක්‍රමවත් උසස්වීම් ලබාදීම හේතුවෙන් ශ්‍රේෂ්ඨාධිකරණයේ ද නඩු විශාල සංඛ්‍යාවක් ගොඩගැසී ඇතැයි, අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා මාධ්‍ය හමුවේදී පැවසීය. සියලු කරුණු සැලකිල්ලට ගනිමින්, විශේෂ කමිටුවක් ලබාදෙන නිරිදේශ මත ඉදිරි මාස කිහිපයේ දී පොලිස් නිලධාරීන්ට උසස්වීම් ලබාදීමට නියමිතයි.

    ලබන මාර්තු 01 වැනිදා සිට ගීත නිර්මාණකරුවන්ට කර්තෘභාගය ගෙවීම සඳහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිවිය. ඊට අදාළ ගැසට් පත්‍රය ද අද නිකුත් කළ බව ජනමාධ්‍ය අමාත්‍යාංශය පවසයි. මේ යටතේ ගායකයා, සංගීතඥයා සහ ගීත රචකයාට කර්තෘභාගය හිමිවේ. ගීතයක් විකාශය කෙරෙන එක් අවස්ථාවකදී රූපවාහිනී නාලිකාවකින් රුපියල් 100ක් ද ගුවන් විදුලි නාලිකාවකින් රුපියල් 20 බැගින් ද ගෙවීමට නියමිතයි.

    සේවක අර්ථසාධක අරමුදලේ මුදල් බැරවීම කෙටි පණිවුඩ සේවාවක් මගින් අදාළ පුද්ගලයාට මාසිකව දැනගත හැකිවන ආකාරයෙන් සකස් කිරීම සඳහා අමාත්‍ය මණ්ඩලය අනුමැතිය හිමිවිය. රටවල් 48කින් ශ්‍රී ලංකාවට පැමිණෙන සංචාරකයින් හට නිදහස් වීසා නිකුත් කිරීමේ වැඩසටහන අප්‍රේල් 30 වැනිදා දක්වා මාස 03ක කාලයක දීර්ඝ කිරීමට ද අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිවිය. සංචාරක කර්මාන්තය ප්‍රවර්ධනය ප්‍රධාන අරමුණයි.

    ආහාර සුරක්‍ෂිතාව හා වෙළෙඳ පොළ සහල් මිල ස්ථාවර කිරීම සහ ආරක්‍ෂිත සහල් සංචිතයක් පවත්වාගෙන යාමට ඊයේ පැවති කැබිනට් මණ්ඩලයේ දී අනුමැතිය හිමිවිය. මේ කන්නය තුළ විශාල වී අස්වැන්නක් අපේක්‍ෂා කිරීම මෙම තීරණයට එළැඹීමට ප්‍රධාන හේතුවයි.

    රුපියල් බිලියන 367ක මුදලක් ලබාගැනීම සඳහා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරුණු අතුරු සම්මත ගිණුම සංශෝධනය කිරීමට ද අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ. ඒ නීතිපතිවරයා ලබාදුන් උපදෙස්වලට අනුවයි. මෙම අතුරු සම්මත ගිණුම ඉදිරිපත් කෙරුණේ, පසුගිය රජය යටතේ ව්‍යාපෘතිවලට නොගෙවූ මුදල් කොන්ත්‍රාත්කරුවන්ට ලබාදීම සඳහායි.
    කර්මාන්තපුරවල ව්‍යාපෘති ආරම්භ කිරීම සඳහා ආයෝජකයන් 8 දෙනෙකු වෙත ඉඩම් කොටස් වෙන්කර දීමට ද අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ. මේ යටතේ සිදු කෙරෙන ආයෝජනය රුපියල් මිලියන 800ක්. සෘජු රැකියා සංඛ්‍යාව 300කට ආසන්නවේ.

    Latest News