පක්ෂ නායකයින් අද පාර්ලිමේන්තුවේදි රැස්වේ

පෙබ 12, 2020

    පක්ෂ නායකයින්ගේ සහභාගීත්වයෙන් පැවැත්වෙන පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව රැස්වීමක් අද ප.ව. 3.00 ට පාර්ලිමේන්තු සංකීර්ණයේදී පැවැත්වේ. ඒ කතානායක කරෑ ජයසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන්.

    එහිදී ඉදිරි පාර්ලිමේන්තු කටයුතු පිළිබඳව සාකච්ඡා කිරීමට නියමිතයි. මාර්තු මුල් සතියේ පාර්ලිමේන්තුව විසුරුවා හරින්නේ නම් 8 වැනි පාර්ලිමේන්තුවේ අවසන් සභා වාර කිහිපය මෙය වනු ඇති.

    මෙහිදී රන්ජන් රාමනායක මහතා විසින් මේ වනවිට පාර්ලිමේන්තුවට භාරදී ඇති හඬපට මන්ත්‍රීවරුන්ට ලබාදීම පිළිබඳව පක්ෂ නායකයින් අතර, වැඩිදුරටත් සාකච්ඡා කිරීමට නියමිතව තිබේ.

    පසුගිය සිකුරාදා රැස් වූ පක්ෂ නායකයින් තීරණය කළේ, මේ වනවිට භාරදී ඇති හඬපටවල අන්තර්ගත අසභ්‍ය හා ජාතික ආරක්ෂාවට තර්ජනයක් ඇති කොටස් ඉවත් කර ඒවා මන්ත්‍රීවරුන්ගේ පරිහරණය සඳහා පාර්ලිමේන්තු පුස්තකාලය වෙත යොමු කිරීමටය.

    මේ අතර පාර්ලිමේන්තුවේ ඉදිරි සතිය සම්බන්ධයෙන් වන න්‍යාය පත්‍රය සකස් කිරීම පිළිබඳව ද මෙහිදී සාකච්ඡා කිරීමට නියමිතව තිබේ.

    පාර්ලිමේන්තුව ලබන 18 වැනි දා පස්වරු 1.00 ට යළි රැස්වීමට නියමිතයි.

    Latest News