ගානියා බැරිස්ටර්ගේ ජංගම දුරකථන වාර්තාවල ප්‍රගතිය ඉදිරිපත් කරන්නැයි රහස් පොලීසියට නියෝග

පෙබ 11, 2020

    ඉකුත්දා පැහැරගෙන යාමට ලක්වූ බව කියන ස්විස් තානාපති කාර්යාලයේ නිළධාරිනී ගානියා බැරිස්ටර් ෆ්‍රැන්සිස් නමැත්තියගේ ජංගම දුරකථනය පිළිබදව රජයේ රස පරීක්ෂකවරයාගේ වාර්තාව ලබා ගෙන ඉදිරි පරීක්ෂණ පවත්වා මාර්තු මස 31 වැනිදා එහි ප්‍රගතිය වාර්තාවක් ඉදිරිපත් කරන ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය අද රහස් පොලීසියට නියෝග කළේය.

    මෙම පැමිණිල්ල අද කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය ඉදිරියේ කැඳවනු ලැබීය.

    එහිදී රහස් පොලීසිය වෙනුවෙන් පෙනී සිටි ජ්‍යෙෂ්ඨ රජයේ නීතිඥ ලක්මිණී ගිරිහාගම මෙනවිය අධිකරණය හමුවේ කරුණු දක්වමින් මෙම විමර්ශනයේදී අනාවරණය වූ කරුණු සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ශානි අබේසේකර මහතා ගෙන් ඉකුත් මස 23 වැනිදා ප්‍රකාශයක් සටහන් කරගෙන ඇති බව දැනුම් දුන්නේය.

    එමෙන්ම මෙම විමර්ශන වලදී නම් අනාවරණය වූ සන්ඩේ ඔබ්සවර් පුවත්පතේ කර්තෘවරිය ලෙස කටයුතු කළ දරිශා බැස්ටියන්ගේ ජංගම දුරකථන විශ්ලේෂනයේදී දුරකථන අංකයක් සොයා ගත් බව සඳහන් කළ ජ්‍යෙෂ්ඨ රජයේ නීතිඥවරිය එම දුරකථන අංකය සන්ඩේ ඔබ්සවර් පුවත්පතේ ප්‍රවෘත්ති කර්තෘ ලෙස කටයුතු කරන අනූරංගි ප්‍රියංවදා සිං නමැත්තියගේ බවට කරුණු තහවුරු කර ගත් බවද පැවසුවාය.

    ඉන් අනතුරුව අනුරංගි ප්‍රියංවදා නමැත්තිය ඊයේ දින කැඳවා ඇයගේ ප්‍රකාශයක් සටහන් කර ගත් බවද රජයේ නීතිඥවරයා අධිකරණයට දන්වා සිටියේය.

    සැකකාරිය වෙනුවෙන් පෙනී සිටි නීතිඥ උපුල් කුමාරප්පෙරුම මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් තම සේවාදායිකාවගේ විත්තිවාචකය සම්පුර්ණයෙන්ම ඇයගේ දුරකතනය තුල පවතින තොරතුරු මත රැඳී ඇතැයි සඳහන් කළේය.

    එබැවින් ඇයගේ දුරකතනය තුල පවතින ඉකුත් වසරේ මැයි මස පළමුවැනිදා සහ නොවැම්බර් මස 25 වැනිදා අතර කාල සීමාවට අදාල දත්ත සුරක්ෂිතව තබා ගන්නා ලෙස නියෝගයක් නිකුත් කරන මෙන් ද නීතිඥ කුමාරප්පෙරුම මහතා අධිකරණයෙන් ඉල්ලා සිටියේය.

    මෙහිදී මහේස්ත්‍රාත්වරිය විත්තියේ නීතිඥවරයාගෙන් විමසා සිටියේ මෙම තැනැත්තිය පැහැරගෙන යාමට ලක්වූ බව කියන කතාව ගොතන ලද්දක් බවට රහස් පොලිසිය විසින් ප්‍රකාශ කරද්දී මෙම සිද්ධිය තමා අහඹු ලෙස මුහුණ දුන් සිදුවීමක් බව සැකකාරිය දැනටමත් අධිකරණය හමුවේ ප්‍රකාශ කර ඇතැයි සඳහන් කළේය.

    එසේ නම් ඇය විසින් මේ ආකාරයෙන් සිය ජංගම දුරකථනයේ තිබෙන තොරතුරු සංරක්ෂණය කරන ලෙස ඉල්ලා සිටින්නේ ඇයිදැයි මහෙස්ත්‍රාත්වරිය විත්තියේ නීතිඥවරයා ගෙන් විමසා සිටියේය.

    ඊට ප්‍රතිචාර දක්වමින් නීතිඥ උපුල් කුමරප්පෙරුම මහතා සඳහන් කර සිටියේ මෙම දත්ත විත්ති වාචකයක් ඉදිරිපත් කිරීම සඳහා බෙහෙවින් වැදගත් වන හෙයින් ඒ පිළිබඳව අධිකරණයේ අවධානය යොමු කිරීමට තම සේවාදායකයාව සිතූ බවයි.

    කෙසේ වෙතත් මෙහිදී මහේස්ත්‍රාත්වරිය නීතිඥ කුමරප්පෙරුම මහතාට දන්වා සිටියේ මෙම ඉල්ලීම ලිඛිතව මීළඟට නඩු දිනයේ අධිකරණයට ඉදිරිපත් කරන ලෙසයි.

    සැකකාරිය වෙනුවෙන් පෙනී සිටි නීතිඥ උපුල් කුමාරප්පෙරුම මහතා තවදුරටත් අධිකරණය හමුවේ කරුණු දක්වමින් නිකුත් නඩු දිනයේ රහස් පොලිසිය විසින් සන්ඩේ ඔබ්සවර් පුවත්පතේ මාධ්‍යවේදිනියන් සහ ලේක්හවුස් ආයතනයේ හිටපු සභාපති හා රහස් පොලිසියේ නිලධාරීන් සමඟ සිදු වූ බව කියන දුරකථන සංවාද පිළිබඳ ව කරුණු ඉදිරිපත් කළ බව සදහන් කළේය.

    එම කරුණ වාර්තා කිරීමේදී ඇතැම් මාධ්‍ය දෝෂ සහගත ආකාරයෙන් කරුණු වාර්තා කර ඇතැයි සඳහන් කළ නීතිඥ උපුල් කුමාරප්පෙරුම මහතා එදින නම් සදහන් වු සියලුම පුද්ගලයින්ට තම සේවාදායිකාව විසින් දුරකථන ඇමතුම් ලබාගෙන තිබු බවට එම මාධ්‍ය වාර්තා වලින් සාවද්‍ය තොරතුරු අනාවරණය කර තිබූ බවද චෝදනා කර සිටියේය.

    තම සේවාදායකයාට එරෙහිව නඩු පැවරීම වෙනත් කටයුත්තක් බව පෙන්වා දුන් නීතිඥ කුමරප්පෙරුම මහතා මෙවැනි සාවද්‍ය තොරතුරු ප්‍රචාරය කිරීම හරහා ඇයට සමාජය ඉදිරියේ දැඩි අපහසුතාවන්ට මුහුණ දීමට සිදුව තිබෙන බවත් සමාජයෙන් ඇයට ලැබෙන ආරක්ෂණය අහිමි වන තත්වයක් උද්ගතව තිබෙන බවත් අධිකරණය හමුවේ සඳහන් කර සිටියේය.

    ඊට ප්‍රතිචාර දක්වමින් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය විවෘත අධිකරණය හමුවේ සඳහන් කර සිටියේ අධිකරණයක් හමුවේ සිදුවන දෑ නිවැරදිව හා වගකීමෙන් වාර්තා කිරීම මාධ්‍යයේ පරම වගකීම බවයි.

    අධිකරණයක් හමුවේ සිදුවන නිවැරදි තොරතුරු දැනගැනීමට මහජනතාව අපේක්ෂාවෙන් සිටින බවත් අධිකරණයද ජනමාධ්‍ය වෙතින් බලාපොරොත්තු වන්නේ නිවැරදි තොරතුරු මහජනතාව වෙත සන්නිවේදනය කිරීම බව සඳහන් කළ මහේස්ත්‍රාත්වරිය නීතිපති දෙපාර්තමේන්තුව මෙන්ම පොලීසිය ද අපේක්ෂා කරන්නේ එය බවද සඳහන් කර සිටියේය.

    ඉන් අනතුරුව පැමිණිල්ල නැවත මාර්තු මස 31 වනදා කැඳවීමට නියම කළ ප්‍රධාන මහෙස්ත්‍රාත්වරයා එදිනම මෙම සැකකාරියගේ ජංගම දුරකථනයට අදාල රජයේ රස පරීක්ෂක වාර්තාව ලබාගෙන විමර්ශන සිදුකොට පරීක්ෂණවල ප්‍රගතිය දැක්වෙන වාර්තාවක් ඉදිරිපත් කරන මෙන් ද රහස් පොලීසියට නියෝග කළේය.

    එම පැමිණිල්ල අද කැඳවනු ලැබූ අවස්ථාවේදී ඇප මත මුදාහැර සිටින සැකකාර ස්විස්ටර්ලන්ත තානාපති කාර්යාල නිලධාරිනි ගානියා බැරිස්ටර් ෆ්‍රැන්සිස් අධිකරණය හමුවේ පෙනී සිටියේය.

    Last modified on අඟහරුවාදා, 11 පෙබරවාරි 2020 14:54

    Latest News