පීඩාවට පත් චීන ජනතාවට ශ්‍රී ලංකාවෙන් පරිත්‍යාගයක්

පෙබ 07, 2020

    කොරෝනා වෛරසයෙන් පීඩාවට පත් වූ චීන ජාතිකයන් වෙනුවෙන් ලෝ ප්‍රචලිත සිලෝන් බ්ලැක් ටී තොගයක් පරිත්‍යාග කිරීම අද (06) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා අතින් සිදුවිය.

    චීන තානාපති චොංග් ෂියුආන් මහතා වෙත තේ තොගය භාර දෙනු ලැබීය. තානාපතිවරයා පරිත්‍යාගය මහත් සේ අගය කළේය.
    දුෂ්කර අවස්ථාවේ චීන රජයට සහ ජනතාවට ශ්‍රී ලංකා රජය සහ ජනතාව දැක්වූ සහයට චීන ජනාධිපති ෂී ජින් පින් මැතිතුමා සහ චීන රජය වෙනුවෙන් තානාපතිවරයා ස්තූතිය පිරිනැමීය. පීඩාවට පත්වූවන්ට සෙත් පතමින් පසුගියදා පිරිත් පිංකමක් ද සංවිධාන කර තිබිණ. ඒ වෙනුවෙන් ද සියලු දෙනා වෙත තානාපතිවරයා කෘතවේදීත්වය පළ කළේය. වුවාහ්වල සිටි ශ්‍රී ලාංකික සිසුන් ගෙන්වා ගැනීමට දුන් සහය පිළිබඳව ජනාධිපතිතුමා තානාපතිවරයාට ස්තූතිය පුද කළේය.

    මේ පිරිස ශිෂ්‍යයන් බැවින් ඔවුන්ගේ දෙමාපියන් දැඩි කනස්සලයට පත්ව සිටියා. සිසුන්ට වූහාන්වලින් පිටවීමට අවසර දීම සැබැවින්ම අගය කරනවා. මේ උවදුර නුදුරේදීම පාලනය කිරිමට චීනයට හැකිවනු ඇතැයි අපේක්ෂා කරනවා. ජනාධිපතිතුමා සඳහන් කළේය. රෝගය මර්දනයට ගෙන ඇති පියවර පිළිබඳව ජනාධිපතිතුමා කළ විමසීමට පිළිතුරු දුන් තානාපතිවරයා පැවසුවේ චීන නව අවුරුදු උදාව සමග වෛරසය අනාවරණය වූ බවයි. එහි බරපතල තත්වය දැන ගැනීමත් සමග රෝගය පැතිරයාම වැළැක්වීමට චීන රජය වහා පියවර ගත්තේය. වෛරසය පැතිරෙන ඕනෑම ස්ථානයක්, පූර්ණ නිරෝධායන ක්‍රියාවලියට ලක් කර ඇතැයි ද තානාපතිවරයා පැවසීය. මුලු මරණ සංඛ්‍යාවෙන් 99%ක්ම වාර්තා වූයේ වුහාන් නගරයෙන් බව ද ඔහු ප්‍රකාශ කළේය.

    චීන අලුත් අවුරුද්ද ශ්‍රී ලංකාවේ නිවාඩු කාලයක් නොවන බැවින් ශ්‍රී ලංකාවේ වෙසෙන බොහෝ චීන ජාතිකයන් නව අවුරුදු සැමරිම සඳහා චීනයට ගොස් නැවත පැමිණ නැත. ඔවුන්ගෙන් ශ්‍රී ලංකාවට නැවත පැමිණීම ප්‍රමාද කරන ලෙස ඉල්ලා සිටින අතර මේ වන විටත් ආපසු පැමිණ සිටි අයට හුදකලාව සිටින ලෙස දැනුම් දී ඇති බව තානාපතිවරයා සඳහන් කළේය.

    උද්ගත වූ තත්වය හේතුවෙන් චීනයේ සහ අවට කලාපවල සියලු ආර්ථික හා සමාජ ක්‍රියාකාරම්වලට දැඩි බලපෑම් එල්ල විය. සංචාරක හා ව්‍යාපාරය අහිමිවීම ශ්‍රී ලංකාවට ද බලපා තිබේ. නව වෛරසය පිළිබඳ පර්යේෂණ මණ්ඩලයක් පත් කර ඇති අතර මේ සඳහා ඉක්මන් විසඳුම් සොයාගැනීමට හැකිවනු ඇතැයි තානාපතිවරයා පැවසීය.

    Last modified on සිකුරාදා, 07 පෙබරවාරි 2020 09:18

    Latest News