සේවයට වාර්තා නොකළ හමුදා නිලධාරීන්ට පොදු සමා කාලයක්

පෙබ 05, 2020

    සේවයට වාර්තා නොකර සිටින ත්‍රිවිධ හමුදා සාමාජිකයන්ට නීත්‍යානුකූලව අස්වීම ලබාදීමට හෝ නැවත සේවයට වාර්තා කිරීම සඳහා පොදු සමා කාලයක් ප්‍රකාශයට පත් කර තිබේ.

    වර්ෂ 2019 සැප්තැම්බර් 30 වැනි දිනට පෙර නිවාඩු නොමැතිව නොපැමිණි ත්‍රිවිධ හමුදා සාමාජිකයන්ට පමණක් මෙය බලපැවැත්වෙයි. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ උපදෙස් පරිදි අද සිට 12 වැනි දින දක්වා බලපැවැත්වෙන පරිදි සතියක කාලයක් ඒ සඳහා ලබා දී තිබේ. වැඩබලන ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී මෙන්ම යුද හමුදාපති ලුතිතන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතාගේ මෙහෙයවීම මත යුද්ධ හමුදා පිරිස් පරිපාලන අධ්‍යක්ෂ මණ්ඩලය අදාළ අංශ මේ පිළිබඳ දැනුවත් කර අවසන්. ආධුනික පුහුණුවීම්වල යෙදී සිටිය දී සේවය අතහැර ගිය අයට ඔවුන්ගේ රෙජිමේන්තු මධ්‍යස්ථාන හෝ ආධුනික පුහුණු මධ්‍යස්ථාන වෙත වාර්තා කළ හැකියි.

    මෙසේ සේවයට වාර්තා කරන සියලු ත්‍රිවිධ හමුදා සාමාජිකයන් ඔවුන්ගේ ජාතික හැඳුනුම්පත, විදේශ ගමන් බලපත්‍රය,රියදුරු බලපත්‍රය හෝ රැගෙන ආ යුතු අතර, එහි පිටපතක් තමන් සන්තකයේ නොමැති නම් සිය බැංකු පොතේ ඡායා පිටපතක් හෝ අදාළ ග්‍රාම නිලධාරියා නිර්දේශ කරන ලද ලිපියක් හෝ අදාළ ලිපි ලේඛන අස්ථාන ගතවී ඇති බවට කිසියම් පොලිස් ස්ථානයක සිදු කරන ලද පැමිණිල්ලක පිටපතක් රැගෙන ආ යුතුයි. ඉහළ සියලු අවශ්‍යතා සපුරාලිය හැකි අයට තාවකාලිකව සේවයෙන් ඉවත්වීමේ ලිපියක් නිකුත් කිරීමෙන් පසු දිනක් ඇතුළත එය ස්ථීරව තහවුරු කර ගත හැකියි. මෙම ක්‍රියා පටිපාටිය අවසන් වන තුරු කඳවුරුවල රැඳී සිටීමට අපේක්ෂා කරන අය දින දෙකකට සරිලන පරිදි බඩු බාහිරාදිය රැගෙන ආ යුතුයි.

    Last modified on බදාදා, 05 පෙබරවාරි 2020 12:02

    Latest News