කොරෝනා වෛරසයට බියේ සංවර්ධන ව්‍යාපෘති නැවතිය යුතු නැහැ-ඇමති මහින්ද

පෙබ 05, 2020

    කොරෝනා වෛරස් රෝගයට බියේ සංවර්ධන ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම කල් දැමිය යුතු නැති බව ප්‍රවාහන කළමනාකරණ විදුලිබල හා බලශක්ති අමාත්‍ය මහින්ද අමරවීර මහතා අමරවීර මහතා පවසයි. සංවර්ධන ව්‍යාපෘති සති දෙකක් නොව දවසක් ප්‍රමාද වුවත් විශාල පාඩුවක් සිදුවන බ වයි, අමාත්‍යවරයා පවසන්නේ. ඔහු මේ බව ප්‍රකාශ කළේ අගුනකොළ පැලැස්සේ වතුකන්ද විහාරස්ථානයේ පැවැති උත්සවයකට සහභාගී වෙමින්.

    කොරෝනා වෛරස් රෝගයට බිය පත්ව අද අපේ රටේ බොහෝ දෙනෙක් පාරේ ගමන් කරන්නෙත් මුඛවාඩම් දාගෙන. ඒත් තවමත් අපේ රටෙන් එක රෝගියෙක්වත් කොරෝනා වෛරසය හැදුනා කියළා වාර්තා වෙලා නෑ. එක් රෝගියෙක් වාර්තා වුනත් ඇයත් චින ජාතික කාන්තාවක්. අනික අපේ රටේ ගුවන් තොටුපොළවල් තියෙන්නේ දෙකයි. වරායවල් තිබෙන්නේ එකයි. එම අංශ දෙක මේ වනවිට රෝග වැලැක්වීමේ ආවේක්ෂණ වැඩ පිළිවෙළ හොඳින් ශක්තිමත්ව ක්‍රියාත්මක කර තිබෙනවා. රෝගියෙකුට එම අංශ දෙකෙන් රට ඇතුළට හොරෙන් ඇතුල් වෙන්න බැහැ. මහජනතාව විසින් කළ යුත්තේ සෞඛ්‍ය අංශ විසින් ලබා දෙන උපදෙස් නිසි පරිදි පිළිපැදීම.

    අනික් කාරණය නම් කොරෝනා වෛරසයට වඩා දරුනු රෝග තත්ත්ව තිබෙනවා. අපේ රටේ ඒඩ්ස් රෝගින් ඉන්නවා. ඩෙංගු කියන්නෙත් වෛරස් රෝගයක්. පසුගිය වසරේ රෝගීන් 95000ක් විතර වාර්තා වෙලා තියෙනවා. කොරෝනාවලින් බේරෙන්න දරණ උත්සාහය ඩෙංගුවලින් බේරෙන්නත් තිබිය යුතුයි.

    මම පසුගිය දවසක මාතර - හම්බන්තොට අධිවේග මාර්ගය ඉදි කිරීම් බලන්න ගියා. එම කටයුතු සති දෙකකට නවත්තලා තියෙනවා මේ කොරෝනා වෛරස් උණ නිසා. අපේ රටේ අහළකින්වත් නැති රෝගයක් නිසා සංවර්ධන ව්‍යාපෘති නතර කළ යුතු නැහැ.

    අපේ රටත් ගෝලීයකරණයට අහුවෙච්ච රටක්. ඒ හින්දා ලෝකය පුරා යන හැම තත්ත්වයක්ම අපේ රටටත් බලපානවා. නමුත් අපි විසින් කළ යුත්තේ එවැනි රෝග වළක්වා ගැනීමට විද්‍යාත්මක පිළිවෙත් අනුගමනය කිරීමයි. චීනයේ කොරෝනා තිබුනාට මෙහේ ඉන්න චීන ජාතිකයින්ටත් ඒ රෝගය තියෙනවා කියළා කොන්
    කිරීම උචිත නැති බව මම විශ්වාස කරනවා.

    Last modified on බදාදා, 05 පෙබරවාරි 2020 10:01

    Latest News