නවීන තාක්‍ෂණය පිළිබඳ ආතර් සී ක්ලාක් ආයතනය ඇමති බන්දුලගේ නිරීක්ෂණයට

ජන 29, 2020

    නවීන තාක්‍ෂණය පිළිබඳ ආතර් සී ක්ලාක් ආයතනය සතු මානව හා භෞතික සම්පත් හා එහි වැඩකටයුතු පිළිබඳ විමසා බැලීම සඳහා උසස් අධ්‍යාපන, තාක්ෂණ, නවෝත්පාදන සහ තොරතුරු හා ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා ඊයේ (28) දින එම ආයතනයේ නිරීක්ෂණ චාරිකාවක නිරත විය.

    මෙරට සිටි විශිෂ්ට විද්වතකු වන ආතර් සී.ක්ලාක් මහතාගේ නමින් පිහිටුවා ඇති මෙම ආයතනය නව විද්‍යාත්මක දැනුම සොයා යාමේදී ඉතා වැදගත් මෙහෙයක් සිදු කරන විද්‍යායතනයක් බවත් මෙම ආයතනය පදනම් කරගනිමින් ඉදිරි පරම්පරාවන්ට උසස් අධ්‍යාපන දැනුම ලබා ගැනීමේ ඉඩකඩ පුළුල් කිරීමට ඇති ශඛ්‍යතාව විමසා බැලීම මෙම නිරීක්ෂණ චාරිකාවේ අරමුණ බවත් මෙහිදී අමාත්‍යවරයා ප්‍රකාශ කළේය.

    නවීන විද්‍යාත්මක විෂයයන් සම්බන්ධයෙන් විවිධ පර්යේෂණ හා අධ්‍යයනයන් සිදු කර ඒවායේ ප්‍රතිඵල ශ්‍රී ලංකාවට මෙන්ම සෙසු රටවලටත් බෙදා දෙනු ලබන මෙවැනි ආයතනයකට නව සිසු පරම්පරාවන් වෙනුවෙන් ලබාදිය හැකි දැනුම අසීමිත බව අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.

    විශේෂයෙන්ම, ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ සඳහන් වන පරිදි උසස් පෙළ සමත් සියලු සිසුනට උපාධියක් ලබා ගැනීමේ වරම් හිමිකර දීම සඳහා මෙවැනි ආයතන පදනම් කරගත හැකි බැවින් ඒ සඳහා මෙම ආයතනය සතු මානව හා ප්‍රාග්ධන සම්පත් දියුණු කරමින් අදාළ ඉඩ ප්‍රස්ථාවන් පුළුල් කිරීමට ඇති හැකියාව තවදුරටත් විමර්ශනය කරන බව අමාත්‍යවරයා කියා සිටියේය.

    එමෙන්ම, ඉදිරි අයවැයකදී උසස් අධ්‍යාපන, තාක්ෂණ, නවෝත්පාදන යන විෂයට මෙතෙක් රජයකින් වෙන් නොකළ තරමේ ප්‍රතිපාදන ප්‍රමාණයක් වෙන් කිරීමට කටයුතු කරන බව ජනාධිපතිතුමා සහ මුදල් ඇමතිතුමා ප්‍රකාශ කර ඇති බවත් ඒ අනුව, ඉදිරියේදී මෙම විෂයෙහි දියුණුවට ප්‍රමුඛතාවක් ලබා දී කටයුතු කිරීමට හැකිවන බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

    උසස් අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් අනුර දිසානායක මහතා සහ නවීන තාක්‍ෂණය පිළිබඳ ආතර් සී ක්ලාක් ආයතනයේ ඉහළ නිලධාරීහු රැසක්ද මෙම අවස්ථාව සහභාගි වී සිටියහ.

    Latest News