රටේ කිසිදු සම්පතක් විදේශිකයන්ට විකුණන්නේ නැහැ; අගමැති (වීඩියෝ)

ජන 28, 2020
  • ප්‍රතිපත්තියක් ලෙස රජය, රටේ කිසිදු සම්පතක් විදේශිකයන්ට විකුණන්නේ නැතැයි, අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්‍ෂ මහතා පවසයි.

    අග්‍රාමාත්‍යවරයා මේ බව කියා සිටියේ, රේගු මූලස්ථාන ශ්‍රවණාගාරයේ අද (28) පැවති උත්සවයකට එක්වෙමින්. ජාත්‍යන්තර රේගු දිනය වෙනුවෙන් උත්සවය සංවිධාන කර තිබිණ. විමල් වීරවංශ, ජොන්ස්ටන් ප්‍රනාන්දු යන අමාත්‍යවරුන් ද රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ, මුදල් අමාත්‍යාංශ ලේකම් එස්.ආර්. ආටිගල යන මහත්වරුන් ඇතුළු පිරිසක් මේ අවස්ථාවට එක්වූහ. මෙහිදී අග්‍රාමාත්‍යවරයා කියා සිටියේ රේගු දෙපාර්තමේන්තුවේ සේවය තවදුරටත් කාර්යක්‍ෂම විය යුතු බවයි.

    එහිදී අදහස් දැක්වූ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්‍ෂ මහතා....

    “පසුගිය අමාත්‍යාංශයේ සිදුවූ සිදුවීම් සිද්ධ වෙන්නේ නැහැ කියන පොරොන්දුව අපිට දෙන්න පුලුවන්. අපි ඔබ කෙරෙහි දැඩි විශ්වාසයක් තියෙනවා. ඒ දැඩි විශ්වාසය ක්‍රියාත්මක කිරීම, වඩාත් කාර්යක්‍ෂමව ක්‍රියාත්මක කිරීම ඔබේ වගකීමක්. අපි කෙසේ කීවත් අපි දන්නවා නොයෙක් දේවල් රට තුළට බදුවලින් තොරව ගෙන්නන අවස්ථා තියෙනවා. ඒවා නතර කරන්න කටයුතු කළොත් අපේ ආදායම් එක්තරා දුරට වැඩිවීමක් සිද්ධ වෙන්න පුලුවන්. ඔබේ ආදායම තුළ තමයි රටේ සංවර්ධනයක් සිදු වෙන්නේ. 57%ක් විතර ඔබ සොයලා දෙනවා අපිට. මේ මුදල අපි භාවිතා කරන්නේ රටේ සංවර්ධනය සඳහා මිසක් මේ රට විකුණන ආකාල්පයකට නොවෙයි. අපි රටේ සම්පත් ඇති කරා, ඇති කරපු සම්පත් විකුණාගෙන කන්න පසුගිය කාලයේ රජයන් ක්‍රියාත්මක වුණා. මේ රටේ ජනතාවට අයිති, ජනතාව වෙනුවෙන් ජනතාවගේ මුදල් ගෙවලා හදපු දේවල් පිටරැටියන්ට විකිණිම ඔවුන්ට ඉතාම පහසු දෙයක් බවට පත්වෙලා තිබුණා. අපි රජයේ ප්‍රතිපත්තියක් හැටියට අපේ කිසිදු සම්පතක් පිටරැටියන්ට විකුණන්න අපි සූදානම් නැහැ“ යැයි අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්‍ෂ මහතා පැවසීය.

    Last modified on අඟහරුවාදා, 28 ජනවාරි 2020 20:19

    Latest News