ඉන්දියාව සෑමවිටම ශ්‍රී ලංකාව සමඟයි; තරංජිත් සිං සන්දු මහතා (වීඩියෝ)

ජන 28, 2020
  • ශ්‍රී ලංකාව සාර්ථක හා ශක්තිමත් රටක් බවට පත් වනු දැකීම ඉන්දියාවේ අභිලාෂය බව, මෙරට ඉන්දීය මහ කොමසාරිස් තරංජිත් සිං සන්දු මහතා පවසයි.

    ඔහු පෙන්වා දෙන්නේ, ඉන්දියාව සෑමවිටම ශ්‍රී ලංකාව සමඟ සිටින බවයි. මෙරට ඉන්දීය මහ කොමසාරිස්වරයා ලෙස ධූරයෙන් සමුගන්නා තරංජිත් සිං සන්දු මහතා වෙනුවෙන් විශේෂ උත්සවයක් කොළඹ දී ඊයේ සංවිධාන කර තිබිණ. ඒ, ඉන්දීය මහකොමසාරිස් කාර්යාලයේ සේවකයින් විසින්. ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මැතිතුමා, අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්‍ෂ හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ, විපක්‍ෂ නායක සජිත් ප්‍රේමදාස යන මහත්වරුන් සහ හිටපු ජනාධිපති චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය ඇතුළු පිරිසක් මීට එක්වූහ.

    එහිදී අදහස් දැක්වූ ඉන්දීය මහ කොමසාරිස් තරංජිත් සිං සන්දු මහතා...

    “මම වසර 7ක් ශ්‍රී ලංකාවේ ගත කළා. ඇතැම් විට, වෙනත් කිසිදු රටක රාජ්‍ය තාන්ත්‍රිකයෙකුට සාපේක්‍ෂව මෙය වැඩිම කාලය වෙන්නත් පුළුවන්. ශ්‍රී ලංකාවෙන් මම බොහෝ දේ ඉගෙන ගත්තා. මගේ සාර්ථක, අසාර්ථකත්වය තුළ ඔබ ද කොටස් කරුවෙක්. සියළු දේ සාර්ථක වේවායි, ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මැතිතුමාට මම සුබ පතන්න ඕනේ. ඉතා ඉහළ බලාපොරොත්තු තියෙනවා. ඔහුට ඒ සඳහා කැමැත්ත තියෙනවා. දේශසීමාවට ඔබ්බෙන් සාර්ථක සහ ශක්තිමත් ශ්‍රී ලංකාවක් නිර්මාණය වනු දැකීම ඉන්දියාවේ අපේක්‍ෂාවයි. අනාගතයේ දී ගෝලීය ආර්ථිකය ඉදිරියට ගෙන යන එක් ප්‍රධාන වෙළෙඳ පොළක් වන්නේ ඉන්දීය වෙළෙඳ පොළයි. මගේ පැතුම නම්, දෙරටේ ආර්ථිකයන් සම්බන්ධ කිරීමයි. එමඟින් දෙරටටම වාසි අත්වනවා. විශේෂයෙන්ම ශ්‍රී ලංකාවට, අපට ඓතිහාසික සංස්කෘතික හා ආර්ථික සබඳතාවක් තිබෙනවා. ලේ සබඳතාවක් අපට තිබෙනවා. ඉන්දියාව, සැමවිටම ඔබ සමඟ ඉදිවී. මෙම වසර 7 මගේ ජිවිතයට අර්ථවත් එකක්. මගේ දෙවැනි නිවන ශ්‍රී ලංකාව“ යැයි මෙරට ඉන්දීය මහ කොමසාරිස් තරංජිත් සිං සන්දු මහතා පැවසීය.

    Last modified on අඟහරුවාදා, 28 ජනවාරි 2020 20:19

    Latest News