අධිකරණයේ ගෞරවය ආරක්‍ෂා කිරීම, අධිකරණමය මැදිහත්වීමකින් සිදුවිය යුතුයි; මහාචාර්ය ජී.එල්.පීරිස් (වීඩියෝ)

ජන 27, 2020
  • අධිකරණයේ සහ විනිසුරුවරුන්ගේ ගෞරවය ආරක්‍ෂා කිරීමට කඩිනම් වැඩපිළිවෙළක් අවශ්‍ය බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පවසයි.

    එහි සභාපති මහාචාර්ය ජී.එල්.පීරිස් මහතා අද පැවති මාධ්‍ය හමුවකදී කියා සිටියේ, එය අධිකරණමය මැදිහත්වීමකින් පමණක් සිදුවිය යුතු බවයි.

    එහිදී අදහස් දැක්වූ මහාචාර්ය ජී.එල්.පීරිස් මහතා....

    “ජගත් කීර්තියට පත්වෙලා තියෙන ආයතනයක් ශ්‍රී ලංකා අධිකරණය. එය කිසිවෙත් පළුඳු වෙලා නැහැ. අතිබහුතරය මේ රටේ විනිශ්චයකාරවරුන් ගෞරවාන්විත පුද්ගලයින්. විනිශ්චයකාරවරුන් පිළිබඳ යම්කිසි ගැටලුවක් උද්ගත වෙලා තියෙනවානම් ඒක විසඳිය යුත්තේ ඊට වඩා ඉහළ විනිශ්චයකාර නිලධාරීන්මයි. මේ තත්වය වඩා අපූර්ව සහගත ලෙස දේශපාලඥයන් හෝ නිලධාරීන් ඒකට අතපෙවීමට ඉදිරිපත් වුණා“ යැයි අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා පැවසීය.

    රාජ්‍ය අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන මහතා....

    “අපේ දැනට ඉන්න පොලිස්පතිතුමාගෙනුත්, ඒ වගේම අපි අගවිනිසුරුතුමාගෙනුත් ඉල්ලීමක් කරනවා මෙන්න මේ හඬපටය දිහා බලලා කොයි විනිසුරුවරයා ගැනද කිව්වේ.කරුණාකරලා මේ සම්බන්ධයෙන් අසාද් සාලි හිටපු ආණ්ඩුකාරවරයාට පියවර ගන්න කියලා අපි බොහොම පැහැදිලිව මතක් කරනවා“ යැයි රෝහිත අබේගුණවර්ධන මහතා පැවසීය.

    පසුගිය සමයේ නිවාස සංවර්ධන අධිකාරියේ සිදුව ඇති අක්‍රමිකතා පිළිබඳව ද මෙහිදී අදහස් පළ කෙරිණ.

    ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ සභාපති රේණුක පෙරේරා මහතා...

    “හම්බන්තොට දිස්ත්‍රික්කයේ දැනට නිවාස 400ක් පදිංචිය අතහැරලා ගිහිල්ලා තියෙනවා හදපු නිවාසවල. වනජීවි ඉඩම්වල, පුරාවිද්‍යා ඉඩම්වල නිවාස ඉදිකිරිම් කරලා තියෙන්නේ. සමහර අයට ණය දීලා තියෙනවා. දකුණට දීලා තියෙන්නේ ණය, නැගෙනහිරට දීලා තියෙන්නේ ආධාර. හැබැයි මේ සියලු දෙනාට බොරුවක් කරලා තියෙනවා. ඒ තමයි ලක්‍ෂ පහක හෝ හයක ණය මුදලක් අනුමත කරලා පළමුවෙනි වාරිකය වශයෙන් රුපියල් පනස් දාහක්, විසිදාහක්, ලක්‍ෂයක් වගේ මුදලක් තමයි මුලිකව නිදහස් කරලා තියෙන්නේ. ඉතිරි ලක්‍ෂ පහේ මුදල පසුව නිදහස් කිරීමට තමයි කටයුතු කරලා තියෙන්නේ. රුපියල් මිලියන 27 දාහක් අවශ්‍ය කරනවා ලබාදීලා තියෙන ඒවායේ අනෙකුත් කොටස් සම්පුර්ණ කිරිම සඳහා. එවැනි මුදලක් නිවාස සංවර්ධන අධිකාරියේ ඇත්තෙත් නැහැ. භාණ්ඩාගාරයෙන් මේ සඳහා අනුමැතියක් ලබාගෙන හෝ පසුගිය අය-වැය ලේඛනයෙන් මේ සඳහා මුදල් වෙන්කරවා ගැනීමක් හෝ කරගෙන නැහැ. ඊට අමතරව නිවාස සංවර්ධන අධිකාරියෙන් පාලම් හදලා තියෙනවා හම්බන්තොට දිස්ත්‍රික්කයේ. ඒ සඳහා මිලියන හාර දහසක මුදලක් අවශ්‍ය වෙනවා ඒ ගෙවීම් කරන්නට. මෙවැනි ආකාරයේ ඉතාමත් කණගාටුදායක තත්වයක තමයි නිවාස සංවර්ධන අධිකාරිය පත්කරලා තියෙන්නේ“ යැයි රේණුක පෙරේරා මහතා පැවසීය.

    Last modified on සදුදා, 27 ජනවාරි 2020 20:00

    Latest News