තිළිණ ගමගේට එරෙහි නඩුව වළකමින් අභියාචනාධිකරණයෙන් තහනම් නියෝගයක්

ජන 27, 2020

    බලපත්‍ නොමැති අලි පැටවකු තබා ගත් බවට චෝදනා කරමින් හිටපු මහේස්ත්‍රාත් තිළිණ ගමගේ ඇතුළු 4කට එරෙහි කොළඹ මහාධිකරණයේ ගොනුකළ නඩුව ජන. 29 තෙක් විභාග කිරීම වළකමින් අභියාචනාධිකරණයෙන් තහනම් නියෝගයක් නිකුත් කර තිබේ.

    හිටපු මහේස්ත්‍රාත් තිලිණ ගමගේ මහතා විසින් ඉදිරිපත් කළ පෙත්සමක් සලකා බැලූ මහින්ද සමයවර්ධන සහ ප්‍රියන්ත ප්‍රනාන්දු යන මහත්වරුන්ගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල විසින් මෙම නියෝගය නිකුත් කර ඇත.

    ඒ අනුව මේ මස 29 වනදා තෙක් අදාළ තහනම් නියෝග නිකුත් කළ අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල එදින පෙත්සම පිළිබඳ විභාගය පවත්වන බවයි නිවේදනය කළේ.

    තිලිණ ගමගේ මහතා විසින් අභියාචනාධිකරණයට ඉදිරිපත් කළ පෙත්සම මගින් සඳහන් කර තිබෙන්නේ කොළඹ මහාධිකරණය හමුවේ පැවැත්වෙන නඩු විභාගයෙන් තමන්ට යුක්තියක් ඉටු නොවන බවයි.

    එබැවින් අදාළ නඩු විභාගයෙන් තමන්ට අගතියක් සිදු විය හැකි බැවින් එය අත්හිටුවීමේ අතුරු නියෝගයක් නිකුත් කරන ලෙසද තිළිණ ගමගේ මහතා අභියාචනාධිකරණයෙන් ඉල්ලා තිබේ.

    මේ අතර අභියාචනාධිකරණය විසින් නිකුත් කළ තහනම් නියෝගය හේතුවෙන් හිටපු මහේස්ත්‍රාත් තිලිණ ගමගේ මහතා ඇතුළු විත්තිකරුවන් 4 දෙනෙකුට එරෙහිව කොළඹ මහාධිකරණය හමුවේ පැවැත්වීමට නියමිතව තිබූ සාක්ෂි විභාගය ලබන මස 03 වන දා දක්වා කල් තැබීමට කොළඹ මහාධිකරණ විනිසුරු ගිහාන් කුලතුංග මහතා අද නියෝග කළේය.

    එම නඩුවේ සාක්ෂි විභාගය අද සහ හෙට දිනවල කොළඹ මහාධිකරණ විනිසුරු ගිහාන් කුලතුංග මහතා ඉදිරියේ පැවැත්වීමට නියමිතව තිබිණ.

    එහෙත් නඩුව කැඳවනු ලැබූ අවස්ථාවේදී විත්තිකාර තිලිණ ගමගේ මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ අනිල් සිල්වා මහතා කරුණු දක්වමින් තම සේවාදායකයා විසින් ඉදිරිපත් කළ පෙත්සමක් සලකා බැලූ අභියාචනාධිකරණය අද සහ හෙට යන දිනවල පැවැත්වීමට නියමිතව තිබූ මෙම නඩුවේ සාක්ෂි විභාගය අත්හිටුවන ලෙස දන්වා තහනම් නියෝගයක් නිකුත් කර ඇති බව සඳහන් කළේය.

    එම කරුණ නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි රජයේ නීතිඥ යොහාන් අබේවික්‍රම මහතා ද තහවුරු කළේය.

    ඒ අනුව මෙම නඩුවේ සාක්ෂි විභාගය පෙබරවාරි මස 03 වනදා දක්වා කල් තැබිමට මහාධිකරණ විනිසුරු ගිහාන් කුලතුංග මහතා තීන්දු කළේය.

    මෙහිදී හිටපු මහේස්ත්‍රාත් තිලිණ ගමගේ මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ අනිල් සිල්වා මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් ඉකුත් රජය සමයේ දේශපාලන පළිගැනීම්වලට ලක්වූ රජයේ නිලධාරීන් සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා පත් කළ ජනාධිපති පරීක්ෂණ කොමිසම හමුවට තම සේවාදායකයා විසින් ද පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇති බව සඳහන් කළේය.

    ඉකුත් රජය සමයේ මහේස්ත්‍රාත්වරයකු ලෙස සිය සේවාදායකයා රාජකාරි කළ බවත් එම අවස්ථාවේ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ ඇතුළු අමාත්‍යවරුන්ගේ දැඩි බලපෑම් තම සේවාදායකයාට එල්ලවූ බව පෙන්වා දුන් ජනාධිපති නීතිඥ අනිල් සිල්වා මහතා අග්‍රාමාත්‍යවරයා ඇතුළු ආණ්ඩුවේ දේශපාලකයින්ගේ සිතැඟි අනුව කටයුතු නොකිරීම හේතුවෙන් තම සේවාදායකයා පළිගැනීමට ලක්වූ බවත් එහි ප්‍රතිඵලයක් ලෙස මෙම නඩුව ගොනු කෙරුණු බවත් අධිකරණය හමුවේ සඳහන් කර ඇත.

    Latest News