ශ්‍රී ලංකන් යානයක් වූහාන් වෙත ගොඩබැස්සවීමට අයඳුම්පතක්

ජන 27, 2020

    ශ්‍රී ලංකන් එයාර් ලයින් ගුවන් යානයක් වූහාන් නගරයේ ගුවන් තොටුපොළට ගොඩ බැස්සවීම සඳහා අයඳුම්පතක් චීන රජය වෙත බිජිංහි පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය විසින් ඉදිරිපත් කර තිබේ. ඒ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ උපදෙස් අනූව.

    තානාපති කාර්යාලය, චීන විදේශ අමාත්‍යාංශය හා වූහාන් පළාතේ විදේශ කටයුතු කාර්යාලය සමග එක්ව යානය ගොඩබෑම සඳහා අවසරය ලබාගැනීමේ ක්‍රියාවලිය කඩිනම් කිරීමට ක්‍රියා කරනු ඇති. ලාංකීය සිසුන්ට පිටතට යාමට අවසර ලැබුණු වහාම ඔවුන් මෙරටට ගෙන්වා ගැනීමටයි, සැලසුම් කර ඇත්තේ. දැනට චීනයේ සිටින අනෙකුත් සියලුම ශ්‍රී ලාංකික සිසුන් නැවත ගෙන්වා ගැනීම සඳහා විදේශ කටයුතු අමාත්‍යාංශය,තානාපති කාර්යාලය හා කොන්සර් ජෙනරාල්වරුන්, ශ්‍රී ලංකන් ගුවන් සේවය සමග කටයුතු කරමින් සිටියි. සිසුන් 860ක් පමණ චීනයේ රැඳී සිටින බවයි වාර්තා වන්නේ. මේ අතර බිජිංහි තානාපති කාර්යාලය, ගුවැන්ෂූ සහ ෂැංහයිහි කොන්සර් ජෙනරාල්වරුන් වූහාන් හා චීනයේ අනෙකුත් ප්‍රදේශවල සිටින ශ්‍රී ලාංකික සිසුන් සමග නිරන්තර සබඳතා පවත්වමින් වෛරසය ආසාදනයවීම වැළැක්වීම සඳහා ගත යුතු පූර්වාරක්ෂක තොරතුරු සපයනු ලැබේ.

    මේ වන විටත් කොරෝනා වෛරසය ආසාදනය වූ කිසිඳු ශ්‍රී ලාංකිකයෙක් පිළිබඳ තොරතුරු ලැබී නොමැත. ශ්‍රී ලංකාවට නැවත පැමිණීමට අපේක්ෂා කරන සිසුන්ට හා විදේශ චීනයේ වෙසෙන වෘත්තිකයන්ට ආධාර සැපයීම සඳහා විදේශ සබඳතා අමාත්‍යාංශය බෙයිජිං සහ ෂැංහයි බලධාරීන්ගෙන් 50%ක වට්ටමක් ගුවන් සේවා සඳහා ලබාගැනීමට කටයුතු කර තිබේ. බෙයිජිං, ෂැංහයි සහ ගුවැන්ෂූ වෙත සාමාන්‍ය ගුවන් ගමන් සඳහා ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ ගුවන් ගමන් ගාස්තු සඳහා අදාළ වට්ටම හිමිවනු ඇති. චීනයේ සිට ශ්‍රී ලංකාවට පැමිණෙන ශ්‍රී ලාංකික පුරවැසියන්ට ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ 0094-77777 1979 අමතා අදාළ වට්ටම් ලබාගත හැකියි. චීනයේ වෙසෙන ශ්‍රී ලාංකිකයන්ට ඔවුන්ගේ පවුල්වල සාමාජිකයින් සම්බන්ධකර ගැනීම සඳහා පැය 24 පුරා ක්‍රියාත්මක වන තොරතුරු ජාලයක් ද ස්ථාපිත කර තිබේ. ඒ අනූව 0086-10-6532 1861/62 දුරකථන අංක ඔස්සේ අදාළ මෙහෙයුම් පද්ධතිය හා සම්බන්ධ විය හැකියි.

    Last modified on සදුදා, 27 ජනවාරි 2020 07:55

    Latest News