1 ශ්‍රේණියට ළමුන් ඇතුළත් කරන්න නව චක්‍රලේඛයක්..

ජන 21, 2020

    පළමු ශ්‍රේණියට දරුවන් ඇතුළත් කර ගැනීමස සඳහා නව චක්‍රලේඛයක් සකස් කරන්නැයි, අධ්‍යාපන අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා ලේකම්වරයාට උපදෙස් ලබා දී තිබේ. පළමු ශ්‍රේණියට දරුවන් බඳවා ගැනීම සඳහා වූ පරීක්ෂණ වෙනුවෙන් පසුගිය කාලයේ අධ්‍යාපන අමාත්‍යාංශය නිකුත් කළ චක්‍රලේඛයේ අතාර්කික මෙන්ම, අසාධාරණ කරුණු කිහිපයක් ඇතැයි, අධ්‍යාපන අමාත්‍යාංශය නියගමනය කර තිබේ.

    මාපියන්ගේ ස්ථීර පදිංචිය සනාථ කිරීම සඳහා ස්ථීර ඔප්පුව වෙනුවට රජයෙන් ලබාදී ඇති බලපත්‍ර නොසළකා හැරීම මෙන්ම, මව්පියන් දෙදෙනාගෙන් කෙනෙකුගෙන් පාරම්පරික වාසභූමි පදිංචිය නොසළකා හැරීම ඒ අතර වෙයි. එමගින්, සැලකිය යුතු දරුවන් පිරිසකට අසාධාරණයක් සිදුව ඇති බවට දෙමාපියන්ගෙන් අධ්‍යාපන අමාත්‍යාංශයට පැමිණිලි ලැබිණ. දැනට ක්‍රියාත්මක චක්‍රලේඛය ලංකාවට පොදු බැවින් ප්‍රාදේශීය වශයෙන් පවත්වා ඉඩම් ගැටලු, බලපත්‍ර හා ඔප්පු ලබාගැනීමේ ප්‍රමාදයන් ද සැලකිල්ලට ගෙන ලබන වර්ෂය සඳහා නව චක්‍රලේඛයක් නිකුත් කරන ලෙස අධ්‍යාපන අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා ලේකම්වරයාට උපදෙස් ලබා දී තිබේ.

    මේ අතර පළමු ශ්‍රේණියේ පංතියක සිටිය යුතු ශිෂ්‍ය සංඛ්‍යාව 40 දක්වා වැඩිකර ගැනීම වෙනුවෙන් ශ්‍රේෂ්ඨාධිකරණයෙන් අවසරය ලබාගැනීම සඳහා ඉල්ලුම් කිරීමට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමිව තිබේ. පළමු ශ්‍රේණියේ පංතියක සිටිය යුතු ශිෂ්‍ය සංඛ්‍යාව 35ක් විය යුතු බවට අධිකරණ නියෝගයක් පවතියි. ප්‍රාථමික පංති සඳහා ගුරු සහායකයන් බඳවා ගැනීමත් සමග ප්‍රාථමික පංති භාර ගුරුවරයාට මෙතෙක් තිබූ පීඩනය සහ කළමනාකරණ අපහසුතා අවසන් වනු ඇති. එම පදනම මත සිටයි, ශිෂ්‍ය සංඛ්‍යාව 35 සිට 40 දක්වා වැඩි කිරීමේ තීරණයට පසුබිම් නිර්මාණය වී ඇත්තේ. අදාළ නීතිමය කටයුතු අවසන් වූ පසු දැනට රටපුරා දෙමාපියන් තව දරුවන් වෙනුවෙන් මුහුණ දී ඇති තවත් දුෂ්කරතාවක් නිමාවන බව, අධ්‍යාපන අමාත්‍යාංශය පවසයි.

    Last modified on අඟහරුවාදා, 21 ජනවාරි 2020 13:20

    Latest News