icc

පියදාස දිසානායකගේ ඇප ඉල්ලුමට විරෝධතා ඉදිරිපත් කිරීමට අල්ලස් කොමිසමට කල් දෙයි

ජන 21, 2020

    රු.කෝටි 2ක අල්ලස් ගැනීම සම්බන්ධයෙන් පියදාස දිසානායක ඇප ඉල්ලා ගොනුකළ පෙත්සමට විරෝධතා ඉදිරිපත් කිරීමට ත්‍රිපුද්ගල මහාධිකරණය අද අල්ලස් කොමිසමට කල්ලබා දුන්නේය.

    කන්තලේ සීනි සමාගම යළි විවෘත කිරීමට අදාළ කටයුතු ඉටුකර දීම සඳහා ඉන්දීය ජාතික ව්‍යාපාරිකයෙකුගෙන් රුපියල් කෝටි 2 ක අල්ලසක් ලබා ගැනීමේ චෝදනාවට වරදකරු වී සිර දඬුවම් නියම වී සිටින රාජ්‍ය දැව සංස්ථාවේ හිටපු සභාපති පියදාස දිසානායක මහතා තමන්ව ඇප මත මුදා හරින මෙන් ඉල්ලා මෙම පෙත්සම ගොනුකර තිබේ.

    මෙම ඇප ඉල්ලීම අද සම්පත් අබේකෝන්, සම්පත් විජයරත්න සහ චම්පා ජානකී රාජරත්න යන මහත්ම මහත්මීන් ගෙන් සමන්විත ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල හමුවේ කැඳවනු ලැබීය.

    එහිදී විත්තිකාර පියදාස දිසානායක මහතා වෙනුවෙන් ජනාධිපති නීතිඥ ගාමිණී මාරපන මහතා කරුණු දක්වමින් තම සේවාදායකයාට නියම වී තිබෙන සිර දඬුවමට එරෙහිව ඔහු ශ්‍රේෂ්ඨාධිකරණය වෙත අභියාචනයක් ඉදිරිපත් කර ඇති බවත් එම අභියාචනය විභාග කොට අවසන් තීන්දුවක් ලබා දෙන තුරු තම සේවාදායකයා ඇප මත මුදා හැරීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා සිටියේය.

    මෙම ඉල්ලීම සම්බන්ධයෙන් තමන් විරුද්ධ වන බව අල්ලස් කොමිසමෙන් පෙනී සිටි ජේෂ්ඨ රජයේ නීතිඥ ජනක බණ්ඩාර මහතා අධිකරණයට දන්වා සිටියේය.

    ඒ අනුව, නඩුවට අදාළ විරෝධතා පෙබරවාරි මස 03 වනදා ඉදිරිපත් කරන ලෙසත් ඊට එරෙහිව ප්‍රතිවිරෝධතා තිබේනම් ඒවා පෙබරවාරි මස 10 වැනිදාට පෙර ගොනුකරන ලෙසත් ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල දෙපාර්ශ්වයේ නීතිඥවරුන්ට දැනුම් දුන්නේය.

    ඉන් අනතුරුව ඇප ඉල්ලීම පිළිබඳව විභාගය පෙබරවාරි මස 17 දා සිදු කරන බවයි ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල නියම කළේ.

    ඉකුත් රජය සමයේ කන්තලේ සීනි සමාගම ඉන්දියානු ජාතික ව්‍යාපාරිකයකුට පැවරීමේ දී ඊට අදාළ යන්ත්‍රෝපකරණ සහ ගොඩනැගිලි පවරා දීමේ කටයුතු ඉටු කිරීම සඳහා රුපියල් මිලියන 54 ක අල්ලසක් ඉල්ලා රුපියල් කෝටි දෙකක මුදලක් අල්ලස් ලබාගත් බවට චෝදනා කරමින් පවරා තිබූ නඩුවේ දෙවන විත්තිකරු ලෙස නම් කර සිටි රාජ්‍ය දැව සංස්ථාවේ හිටපු සභාපති පියදාස දිසානායක මහතාට කොළඹ ත්‍රිපුද්ගල ස්ථිර මහාධිකරණය විසින් බරපතල වැඩ සහිතව වසර 12 ක සිර දඬුවමක් හා රුපියල් 55,000 දායක දඩයක් නියම කර තිබිණ.

    Last modified on අඟහරුවාදා, 21 ජනවාරි 2020 11:49

    Latest News