වසර 5ක් නැවතුණ මිද්දෙනියේ බස් රථය ඇමති යළි පණ ගන්වයි

ජන 21, 2020

    වසර පහක් පුරා සේවාවන් නතර කර තිබූ ඇඹිලිපිටිය, දඹරැල්ල හරහා හරහා මිද්දෙනිය මාර්ගයේ ලංගම බස් රථය අද සිට යළි ධාවනය ආරම්භ කර කෙරිණ. ඒ ප්‍රවාහන අමාත්‍ය මහින්ද අමරවීර මහතාගේ මැදිහත්වීමෙන් සුබ මොහොතින්.

    ඇඹිලිපිටිය, ලංකා ගමනාගමන මණ්ඩලයේ ඩිපෝවෙන් යොදවා තිබූ බස්රථය මීට වසර පහකට පමණ පෙර විවිධ හේතූන් මත සම්පූර්ණයෙන්ම නතර කරන ලදී. එම නිසා මෙම බස් රථයෙන් ගමනාගමන පහසුකම් ලබා ගත් අතිවිශාල ජනතාවට දැඩි දුෂ්කරතාවලට මුහුණපෑමට සිදුවිය. ජනතාව කොතෙක් ඉල්ලීම් කළද පැවති රජය ඒ සඳහා විසඳුමක් ලබා නොදුන්නේය.

    මෙම මාර්ගය ඉතාම අබලන් තත්ත්වයක පැවතීම මෙම බස් රථය නතර කිරීමට ද බලපෑ නිසා ගම්මානවල ජනතාව විසින් අමාත්‍ය මහින්ද අමරවීර මහතාගෙන් කරන ලද ඉල්ලීමකට අනූව ඔහු මැදිහත් වීමෙන් පළමුව මෙම මාර්ගය අලුත්වැඩියා කිරීම සඳහා සබරගමුව පළාත් සභාව මගින් ප්‍රතිපාදන ලබා දුන්නේය.

    මේ වන විට කිලෝමීටර් 22ක් පමණ දිග මෙම මාර්ගය දැනට යථා තත්ත්වයට පත් වෙමින් තිබේ. එම නිසා නතර කර දමා තිබූ ලංගම බස් රථය නැවත සේවයේ යොදවන මෙන් ප්‍රවාහන අමාත්‍ය මහින්ද අමරවීර මහතා දැනුම් දී තිබේ.

    ඒ අනූව ඇඹිලිපිටිය ඩිපෝව මගින් අද දින සිට මෙම බස් රථය නැවත ජනතාවගේ ගමනාගමන පහසුකම් ලබාදීම සඳහා ආරම්භ කෙරිණ. මෙම බස් රථය අද සිට ඇඹිලිපිටියේ සිට මිද්දෙණිය දක්වා දිනපතා ගමන් වාර අටක් ධාවනය වන බව ඇඹිලිපිටිය ඩිපෝවේ ප්‍රකාශකයෙක් අප සමග ප්‍රකාශ කළේය.

    Last modified on අඟහරුවාදා, 21 ජනවාරි 2020 10:07

    Latest News