ජනපතිගේ හදිසි චාරිකාවෙන් පසු ගුවන් තොටුපොළේ අඩු-පාඩු රැසකට විසඳුම් (වීඩියෝ)

ජන 18, 2020
  • කටුනායක ගුවන් තොටුපොළ පරිශ්‍රයේ, මෙතෙක් පැවති අඩුපාඩු රැසක්, සකස් කිරීමට පියවර ගෙන තිබේ.

    ඒ, ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මැතිතුමා, පසුගියදා ගුවන් තොටුපොළ පරිශ්‍රයේ සිදු කළ හදිසි නිරීක්‍ෂණ චාරිකාවේ දී ලබාදුන් උපදෙස්වලට අනුවයි. ජනාධිපතිතුමා දැනුම් දීමකින් තොරව, පසුගිය 16 වැනිදා, කටුනායක ගුවන් තොටුපොළ පරිශ්‍රයට පැමිණියේය. එහිදී ජනතාව මුහුණ දෙන ගැටලු පිළිබඳ ජනාධිපතිතුමා දීර්ඝ ලෙස සොයා බැලීය. ගුවන් තොටුපොළ හා ගුවන් සේවා සමාගමේ සභාපති, මේජර් ජෙනරාල් ජී.ඒ. චන්ද්‍රසිරි මහතාට, ගෝඨාභය රාජපක්‍ෂ මහතා උපදෙස් ලබාදුන්නේ, දෙස්-විදෙස් කිසිඳු මගියෙකු අපහසුතාවට ලක් නොවන ආකාරයෙන්, ආරක්‍ෂක හා පරිපාලන කටයුතු සිදුකරන ලෙසයි. ජනාධිපතිතුමා උපදෙස් ලබා දී පැය 72ක් යන්නට පෙර කටුනායක ගුවන් තොටුපොළ පරිශ්‍රයේ නවීකරණ රැසක් සිදුකර තිබේ.

    මේ අතර ගුවන් තොටුපොළ පරිශ්‍රයට පැමිණෙන මගීන්ට, අපහසුතාවකින් තොරව ගමන් මලු පරීක්‍ෂා කිරීම සඳහා නවතම ස්තෑන් යන්ත්‍රයක් ද සවි කෙරිණ. ආගමන-විගමන අංශයේ පැවති අඩුපාඩු රැසකට ද විසඳුම් ලබාදී තිබේ. පාස්පෝට් හා අනෙකුත් ලියකියවිලි පරීක්‍ෂා කිරීමේ ස්ථාන සංඛ්‍යාව සහ සේවක පිරිස ද වැඩි කෙරිණ. මීට අමතරව සේවා රැසක් කාර්යක්‍ෂම කර තිබේ. ගුවන් තොටුපොළ හා ගුවන් සේවා සමාගමේ සභාපතිවරයා පවසන්නේ, ඉන් මගීන්ට විශාල කාලයක් ඉතිරි වන බවයි. මේ අතර ත්‍රීරෝද රථ ගාල් කිරීම සඳහා වෙනම අංගනයක් ඉදිකිරීමට ද අවධානය යොමුව තිබේ. 

    මෙම හදිසි නිරීක්‍ෂණ චාරිකාවේදී ජනාධිපතිතුමන් උපදෙස් ලබාදී ඇත්තේ, වසර 5ක කාලයක් අතහැර දමා ඇති, මත්තල ජාත්‍යන්තර ගුවන් තොටුපොළේ ගුවන් ගමන්, කඩිනමින් ආරම්භ කරන ලෙසයි. ඒ සඳහා වැඩසටහනක් ද ක්‍රියාත්මක කර ඇති බව සභාපතිවරයා පවසයි.

    Last modified on සෙනසුරාදා, 18 ජනවාරි 2020 20:12

    Latest News