උපාධිධාරීන් 50,000කට රජයේ රැකියා

ජන 14, 2020

    දැනට මෙරට සිටින පනස් දහසකට අධික රැකියා විරහිත උපාධිධාරීන් සියලුදෙනාට ලබන මාර්තු 1 වැනිදාට පෙර රජයේ රැකියා ලබාදීමට රජය පියවර ගන්නා බව අධ්‍යාපන, ක්‍රීඩා හා තරුණ කටයුතු ඇමැති ඩලස් අලහප්පෙරුම මහතා පැවසීය. 

    උපාධිධාරීන්ට රැකියා ලබාදීමේ දී පසුගිය රජය සිදුකළ ආකාරයට උපාධිය අභ්‍යන්තර ද, බාහිර ද, වයස අවුරුදු 35ට අඩුද, වැඩිද, දේශපාලනය කුමක් ද යනාදී බේද කිසිවක් සැලකිල්ලට නොගන්නා බවද ඇමැතිවරයා සඳහන් කරයි. රැකියා සඳහා බඳවා ගැනෙන මෙම උපාධිධාරීන් සියලුදෙනා මේ රටේ උගත් බුද්ධිමත් දරුවන් බව කී ඇමැතිවරයා, ඔවුන් රැකියා සඳහා බඳවා ගැනීමෙන් පසු හයමාසක පුහුණුවකට යොමු කරන බවත් කීවේය.

    මෙම උපාධිධාරීන් බඳවා ගැනීමට අදාළ යෝජනාව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා මීළඟ කැබිනට් රැස්වීමට ඉදිරිපත් කරනු ඇතැයි ද ඇමැති ඩලස් අලහප්පෙරුම මහතා සඳහන් කරයි. විශේෂයෙන් ම ගණිතය, විද්‍යාව, තාක්ෂණය, විදේශ භාෂා හා සෞන්දර්යය වැනි විෂයයන් උපාධියට හදාරා ඇති රැකියා විරහිත උපාධිධාරීන් සියලුදෙනා ගුරුවරුන් ලෙස පාසල්වලට බඳවා ගැනීමට කටයුතු කරන බවද, එම විෂයයන් සඳහා විශාල ගුරු හිඟයක් පවතින බවද ඇමැතිවරයා පෙන්වා දෙයි.

    අධ්‍යාපන, ක්‍රීඩා හා තරුණ කටයුතු ඇමැති ඩලස් අලහප්පෙරුම මහතා මේ බව පැවැසුවේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු පක්ෂ මූලස්ථානයේ ඊයේ (13) පැවැති මාධ්‍ය හමුවේ දීය.

    එහිදී අදහස් දැක්වූ අධ්‍යාපන, ක්‍රීඩා හා තරුණ කටයුතු ඇමැති ඩලස් අලහප්පෙරුම මහතා - මහින්ද රාජපක්ෂ මහතා 2012 දී ජනාධිපතිව සිටිය දී මේ රටේ සියලු උපාධිධාරීන්ට කිසිදු බේදයකින් තොරව රැකියා ලබා දිය යුතු බවට තීරණයක් ගත්තා. නමුත් 2012න් පසු අද දක්වා මේ ප්‍රතිපත්තිය ක්‍රියාත්මක වුණේ නෑ. පසුගිය ආණ්ඩුව ඉතාම කුඩා කණ්ඩායමකට සංවර්ධන නිලධාරීන් ලෙස පත්වීම් ලබා දුන්නා. ඒ ලබා දුන්නේ බේද රාශියක් ඇතිවයි. එනම්, අභ්‍යන්තර ද බාහිර ද, බාහිර නම් බෑ. වයස් සීමාව 35ට අඩු ද වැඩි ද, 35ට වැඩිනම් ඒත් බෑ. උපාධිය මොකක් ද කියලත් බැලුවා. උදාහරණයක් විදිහට පුරාවිද්‍යා උපාධියක් ලබා ඇතිනම් ඒ අයට රැකියා නෑ.

    පසුගිය අවුරුදු දෙකක සීමාවේ සංවර්ධන නිලධාරීන් බඳවා ගත්තේ අනාරක්ෂිත විදිහට කිසිදු වැඩපිළිවෙළක් නැතිවයි. භික්ෂුන් වහන්සේලා සංවර්ධන නිලධාරීන් ලෙස පත්වීම් ලබා ප්‍රාදේශීය ලේකම් කාර්යාල හා දිස්ත්‍රික් ලේකම් කාර්යාලවල සිටිනවා. වෙනත් පූජක පක්ෂයත් ඒ විදිහට සිටිනවා. නමුත් ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපති ලෙස පත් වූ විට අවධාරණය කළ ආකාරයට සහ එතුමාගේ සෞභාග්‍යයේ දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශයේ සඳහන් කළ ආකාරයට කිසිදු සැකයක් ඇතිකර ගන්න එපා. මම වගකීමෙන් මේ රටේ බුද්ධිමත් දරුවන්ට කියන්නේ, ඒ ගැන කිසිදු අවිශ්වාසයක් තබා ගන්න එපා, මාර්තු මාසේ 1දාට ප්‍රථම මේ රටේ රැකියා විරහිත උපාධිධාරීන් සියලුමදෙනාට රැකියා ලබා දීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සහ අගමැති මහින්ද රාජපක්ෂ මහතාගේ ආණ්ඩුව පියවර ගන්නවා. ගිය සතියේ කැබිනට් මණ්ඩලයේ දී ජනාධිපතිතුමා මීළඟ කැබිනට් මණ්ඩල රැස්වීමේ දී මීට අදාළ තීන්දු තීරණ ඉදිරිපත් කරන බව දැනුම් දුන්නා.

    ඇතැම් කණ්ඩායම් නොයෙක් වැරැදි ප්‍රචාර පතුරනවා. උද්ඝෝෂණ කරන්න යනවා. ඒ කිසිදෙයක් ගෝඨාභය පාලනයට අදාළ දෙයක් නෙවෙයි. ගෝඨාභය රාජපක්ෂ පාලනය කියන්නේ බොහොම සෞම්‍ය පාලනයක්. ඇහුම්කන් දෙන පාලනයක්. කඳුළු ගෑස්, වතුර බවුසර් ගැන විශ්වාසය තියන පාලනයක් නෙවෙයි. ඊට වඩා ශිෂ්ටසම්පන්න පාලනයක්. දරුවන්ට ආදරය කරන පාලනයක්. ඒ නිසා තර්ජනය කර, බිය ගන්වා, අභියෝග කර නෙවෙයි පාලනය කරන්නේ. උද්ඝෝෂණ කරන්න කාටත් අයිතියක් තිබෙනවා. පෙළපාළි යන්න අයිතිය තිබෙනවා. ඒවා ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන්. මේ රටේ බුද්ධිමත් දරුවන්ට අපි කියනවා නිසැකවම ලබන මාර්තු මාසයේ 1දාට ප්‍රථම කිසිදු බේදයකින් තොරව රැකියා විරහිත උපාධිධාරීන් සියලුදෙනාට ම රැකියා ලබා දෙනවා.

    ඒ වගේම, භික්ෂූන්වහන්සේලාට කියනවා කිසි දවසක පාසලකින් එපිට ප්‍රාදේශීය ලේකම් කාර්යාලයක, දිස්ත්‍රික් ලේකම් කාර්යාලයක හෝ වෙනයම් රාජ්‍ය ආයතනයක සංවර්ධන නිලධාරීන් ලෙස බෞද්ධ චීවරයට හෝ වෙනස් ආගමික මතවාදයකට අගෞරව වන අකාරයකට බඳවා ගැනීම් සිදුනොකරන බවට. ජනාධිපතිතුමා මල්වතු අස්ගිරි මහානායක හිමිවරුන් ප්‍රමුඛ මහානායක හිමිවරුන්ටත්, අනෙකුත් ආගමික නායකයන්ටත් රජය මේ තීරණය ගෙන ඇති බව දැනුම් දුන්නා.

    Last modified on අඟහරුවාදා, 14 ජනවාරි 2020 07:53

    Latest News