Semi Luxury - කරුණු දක්වන්න අයිතිකරුවන්ට සතියක්

ජන 02, 2020

    Semi Luxury හෙවත් අර්ධ සුඛෝපභෝගී බස් රථ මගින් මගී ජනතාවට සැලසෙන සේවය පිළිබඳව කරුණු දක්වන්න අයිතිකරුවන්ට සතියක කාලයක් ලබා දෙන බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය මහින්ද අමරවීර මහතා දැනුම් දෙයි.

    ඒ අනුව සතියකින් අනතුරුව අර්ධ සුඛෝපභෝගී සේවාව පවත්වා ගෙන යාම පිළිබඳව අවසන් තීන්දුව ගන්නා බවත් අමාත්‍යවරයා ප්‍රකාශ කරයි. ‍Semi Luxury හෙවත් අර්ධ සුඛෝපභෝගී බස් ලේබලය සහිතව ධාවනය කරන බස්රථ තුළින් මගී ජනතාවට ප්‍රමාණවත් පහසුකම් සහිත සේවාවක් ඉටු නොවන බැවින් එම සේවාව අහෝසි කරන ලෙසට මගී ජනතාව ප්‍රවාහන අමාත්‍යාංශයෙන් දීර්ඝ කාලයක් තිස්සේ ඉල්ලීම් කර තිබේ.

    මෙම කාරණය සම්බන්ධව ජාතික ගමනාගමන කොමිසම විසින් මඟීන් දස දහසක් ආශ්‍රිතව සමීක්ෂණයක් සිදුකර ඇති අතර මෙම සමීක්ෂණයට සහභාගී වු මගී ජනතාවගෙන් 68%ක්ම ප්‍රකාශ කර ඇත්තේ, මෙම සේවාව තව දුරටත් අවශ්‍ය නැති බවයි.

    මගී ජනතාවගෙන් 8% ප්‍රකාශ කර තිබෙන්නේ ඔවුන් බස් රථයට ගොඩවී ඇත්තේ එම බසය අර්ධ සුඛෝපභෝගී බසයක් බව නොදැන බවයි. අර්ධ සුඛෝපභෝගී බස්රථ සේවාව අහෝසි කිරීම සම්බන්ධව ඊයේ (01) පස්වරුවේ අමාත්‍ය මහින්ද අමරවීර මහතා එම බස්රථ ව්‍යාපාරයේ යෙදී සිටින නියෝජිතයන් කිහිප දෙනෙක් සමඟ සාකච්ඡා කරනු ලැබීය.

    එහිදී එම පිරිස කියා සිටියේ "අර්ධ සුඛෝපභෝගී" නාමය "සීඝ්‍රගාමී සිමීත නැවතුම් " ලෙස වෙනස් කර ධාවනයට ඉඩ සලසන ලෙසයි. එසේ වුවද අමාත්‍යවරයා පැහැදිලි කළේ, නම වෙනස් වුවද අයකරන මුදල වෙනස් නොවන නිසා එම තීරණයට එකඟ විය නොහැකි බවයි.

    අර්ධ සුඛෝපභෝගී සේවාව ක්‍රියාත්මක වන්නේ නම් ඒ සඳහා ජාතික ගමනාගමන කොමිසම විසින් නියෝග කර තිබෙන පහසුකම් වන, ආසන ප්‍රමාණයට පමණක් මගී ජනතාව ඇතුළත් කරගැනීම, ආසනවල හිස පහසුවෙන් තබාගත හැකි වන පරිදි පහසුකම් සැලසීම සහ සිමීත නැවතුම්පලවල පමණක් නවත්වා ධාවනය කිරීම කළ යුතු බවයි.

    එහෙත් එම බස්රථ නියෝජිතයින් ඒ සම්බන්ධව තම ස්ථාවරය ප්‍රකාශ නොකළ අතර ඔවුන් කියා සිටියේ තම ව්‍යාපාරය කඩා වැටීමට ඉඩ නොදී පවත්වාගෙන යාමට ඉඩදෙන ලෙසයි.

    කිසිදු ප්‍රවාහන සේවාවක් අඩාල කිරීමේ අවශ්‍යතාවයක් රජයට නොමැති බවත්, මගී ජනතාව විසින් අර්ධ සුඛෝපභෝගී බස් රථ සේවාව සම්බන්ධව ප්‍රකාශ කර තිබෙන්නේ එම සේවාව තවදුරටත් අවශ්‍ය නැති බව වන නිසා, ඒ කෙරෙහි අමාත්‍යාංශයේ අවධානය යොමු කර ඇති බවත් අමාත්‍යවරයා ප්‍රකාශ කළේය.

    මෙම සාකච්ඡාවට ප්‍රවාහන අමාත්‍යාංශයේ ලේකම් ගාමිණි සෙනෙවිරත්න මහතාද සහභාගී විය.

    Last modified on බ්‍රහස්පතින්දා, 02 ජනවාරි 2020 14:37

    Latest News