බස්රථවල ඝෝෂාකාරී සංගීතය 15න් පසු තහනම්

ජන 01, 2020

    සියලුම බස් රථවල මහජනතාවට හිංසා වන අයුරින් වාදනය කෙරෙන ගීත තැටි හා වීඩියෝ පට ප්‍රදර්ශනය නැවැත්වීම සඳහා ජනවාරි මස 15 තෙක් අපි කල් ලබාදී තිබේ.

    එම කාලය ලබා දෙන්නේ ජාතික ගමනාගමන කොමිසම විසින් සකස් කර තිබෙන ගීත තැටි ලබා ගැනීමට අවශ්‍ය කාලයක් සියලුම බස් රථ රියදුරන්ට ලබා දිය යුතු නිසා බවයි, අමාත්‍ය මහින්ද අමරවීර මහතා ප්‍රකාශ කළේ. අමාත්‍යවරයා මෙම අදහස් පළ කළේ ඊයේ (31) පස්වරුවේ මාකුඹුර බහුවිධ ප්‍රවාහණ මධ්‍යස්ථානයේ දී පැවැති උත්සවයක් අමතමිනි.

    ජනවාරි මස 15න් පසු බස් රථවල ඝෝෂාකාරී සංගිතය නවත්වන ලෙස මම සියලුම රියදුරු මහත්වරුන්ගෙන් ඉල්ලා සිටියි. ඒ වගේම ඉන්පසුව අපි එම පියවර නියාමනය කිරීමට ද කටයුතු යොදා තිබේ.

    මගී බස් රථවල අධික ශබ්දයෙන් යුතුව වාදනය කෙරෙන ගීත වෙනුවට සරළ සුභාවිත ගිත සමුච්ඡයක් ජාතික ගමනාගමන කොමිසම විසින් හඳුන්වා දී ඇති අතර එම ගීත සමුච්ඡය බස් රථ හිමියන්ට හා රියදුරු මහත්වරුන්ට පිළිගන්වමින් අමාත්‍යවරයා මෙම අදහස් පළ කළේය.

    මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා...

    අපි මෙම තීරණය ගත්තේ මගී ජනතාවගෙන් ඉදිරිපත් වූ පැමිණිළි සලකා බළා යි. මගී ජනතාව අපිට කිව්වේ අපිට සින්දු එපා අපේ පාඩුවේ මේ කන්දොස්කිරියාවක් නැතිව නිවී සැනසිල්ලේ යන්න දෙන්න කියළයි. ඒ සමගම අපි ජාතික ගමනාගමන කොමිසම විසින් තීරණය කළා දැන් වාදනය වන කසිකබල් සින්දු වෙනුවට මිනිසුන්ට හරවත් ගීත නිවී සැනසිල්ලේ අහන්න අවස්ථාවක් ලබා දෙන්න.

    ඒ අනුව තමයි මෙම අවස්ථාව උදා කර තිබෙන්නේ. අපි මෙම වැඩ පිළිවෙළ කිසිසේත්ම නීතියක් විදියට ක්‍රියාත්මක කරන්න කැමැති නැහැ. රියදුරු මහත්වරු තුළ ආකල්පයක් ඇති කර ගත යුතුයි අපි මේ කරන්නේ මහජනතාවට හිංසාවක් කියළා. එමනිසා මානුසිකත්වයෙන් සළකා බලා මේ මහ හඩින් ගීත වාදනය කිරීමේ වැරදි ප්‍ර වේශය නවත්වන ලෙස මම සියලුම සහෝදර රියදුරු මහත්වරුන්ගෙන් ඉල්ලා සිටිනවා.

    බස් රථය පදවන රියදුරු මහතා මෙන්ම කොන්දොස්තර මහතාත් වැදගත් චරිත දෙකක්. ඒ අය මහජනතාවට ලබා දෙන්නේ විශාල සේවාවක්. බස් රථ ධාවනය කරන රියදුරු මහත්වරු හා කොන්දොස්තර මහත්වරු සම්බන්ධයෙන් මගි ජනතාව හිතන්නෙත් කරදරකාරයින් පිරිසක් විදියට. ඒක වැරදියි. අපි මහජනතාව විදියටත් එම පිරිස දෙස යහපත් ආකල්පයකින් ප්‍රතිචාර දැක්විය යුතුයි.

    සමහර කොන්දොස්තර මහත්වරු මට කියළා තියෙනවා සමහර මගීන් බස් රථයට ගොඩ වෙන්නෙම ආරවුලක් ඇති කර ගැනීමට මාන බලමින් . ලගින් ගියත් වැරැද්දක් අල්ලාගෙන අඩදබර ඇති කර ගන්නවා. අපි හැමෝම අන්‍යෝන්‍ය වශයෙන් එකිනෙකාට ගරු කළ යුතුයි.

    අපි අද ලබා දෙන මෙම ගීත දෙන්නේ නිකම් ඉන්න බැරුවට නෙමෙයි. මේ වැඩ පිළිවෙළේ විශාල අර්ථයක් තියෙනවා. ගරු ජනාධිපතිතුමන් විසින් අලුත් රටක් ගොඩනැගීම සඳහා ගෙන යන වැඩ පිලිවෙළ තුළ අපගේ මගී ප්‍රවාහන පද්ධතිය නව මුහුණුවරකින් සකස් විය යුතුයි. රටක් සංවර්ධනය වන්නට නම් ප්‍රධාන වශයෙන් ප්‍රවාහන සේවාවන් විදිමත් විය යුතුයි.

    අපේ ප්‍රවාහන සේවාවන් විදිමත් කිරීමේ වැඩ පිළිවෙළක් අපි රජය වශයෙන් ආරම්භ කර තිබෙනවා. අද අපි ජනාධිපතිතුමා හමුවී සාකච්ඡා කළා. එතුමා කිසිවිටෙක අල්ලසට, දූෂණයට, වංචාවට ඉඩ දෙන්නේ නෑ. කිසියම් රාජ්‍ය සේවකයෙක් වංචා හා දූෂණවලට හවුල් වුනොත් නැවත රාජ්‍ය සේවයට ඇතුළත් වීමට කිසි විටෙක නොහැකි වන අයුරින් නිති සංශෝධනය කළ යුතු බව එතුමා පැවසුවා.

    ඒ නිසා නව රටක් බිහි කිරීමට අපි ආරම්භ කර ඇති වැඩ පිළිවෙළට සහයෝගය දක්වන ලෙස අපි සියලුම රියදුරු මහත්වරුන්ගෙන් මෙන්ම කොන්දොස්තර මහත්වරුන්ගෙන් ඉල්ලනවා.

    අනික් කාරණය නම් බස් රථවල ගමන් කරන්නේ ඔබේම අම්මලා තාත්තාලා, සහෝදර සහෝදරියන්, දුදරුවන් ලෙස සිතා කටයුතු කරන්න. ඒ සියලුම දෙනා ඔබේ වාහනයට නගින්නේ ඔබ කෙරෙහි විශ්වාසයෙන්. ඒ විශ්වාසය ගොඩනැගීම ඔබේ වගකීමක් යැයිද අමාත්‍යවරයා කීය.

    මෙහිදී අමාත්‍යවරයා විසින් සුභාවිත ගිත ඇතුළත් තැටි බස් රථ අයිතිකරුවන් හා රියදුරු මහත්වරුන් වෙත බෙදා දුන්නේය.

    මෙමඅ වස්ථාවට අමාත්‍යාංශයේ ලේකම් ගාමිනී සෙනවිරත්න, ජාතික ගමනාගමන කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල් නිලාන් මිරන්ඩෝ සහ ලංකා ගමනාගමන මන්ඩලයේ සභාපති නීතිඥ කිංස්ලි රණවක යන මහත්වරු ද සහභාගි වූහ.

    Latest News