වේරහැර RMV අවට අල්ලස් ගනිමින් සිටි 6 දෙනා ජනවාරි 13 දක්වා රිමාන්ඩ් (වීඩියෝ)

දෙසැ 31, 2019
  • මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ, වේරහැර කාර්යාල පරිශ්‍රය අවට ප්‍රදේශයේ දී ජනතාවගෙන් අල්ලස් ගනිමින් සිටි 6 දෙන ජනවාරි 13 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරිණි.

    ඒ අද(31) ගංගොඩවිල මහේස්ත්‍රාත් අධිකරණයේ නියෝගයකට අනුවයි.

    ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව වේරහැර කාර්යාලයේ කටයුතු සොයාබැලීම සඳහා පසුගියදා හදිසි නිරීක්ෂණ චාරිකාවක නිරත විය. එහිදී නිරීක්ෂණය වූයේ එම නිලධාරීන්ගෙන් ජනතාවට කාර්යක්ෂම සේවාවක් ඉටු නොවන බවයි. ආයතනයේ සිදුවන දූෂණ අක්‍රමිකතා පිළිබඳව ජනාධිපතිතුමාගේ විශේෂ අවධානය යොමු විය. වංචා පිළිබඳ තොරතුරු රැසක් අනාවරණය වූ බැවින් ඒ පිළිබඳ දැඩි අවධානය යොමු කරන ලෙස බලධාරීන්ට උපදෙස් දෙනු ලැබිණි. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා දන්වා සිටියේ ගැටලුවලට කඩිනම් විසඳුම් ලබාදී දූෂණ අක්‍රමිකතාවලින් තොර කාර්යක්ෂම සේවාවක් ස්ථාපිත කරන ලෙසයි.

    එවැනි පසුබිමක ආයතනය අවට වංචා සහගත ලෙස කටයුතු කළ 6 දෙනෙකු ඊයේ අත්අඅඩංගුවට ගැනීමට හැකිවිය. ඉතා කෙටි වේලාවකදී රියදුරු බලපත්‍රයක් ලබා දීමට කටයුතු කිරීම සඳහා ඔවුන් එක් අයෙකුගෙන් රුපියල් 10000ක මුදලක් අයකර ගෙන ඇති බවද අනාවරණය වී තිබේ. පොලිසිය පවසන්නේ මේ සම්බන්ධයෙන් තවත් පුද්ගලයින් රැසක් පිළිබඳ තොරතුරු වන අනාවරණය කරගෙන ඇති බවයි. ඔවුන් පිළිබඳව පුළුල් පරීක්ෂණ ක්‍රියාත්මකයි. පරීක්ෂණ පැවැත්වෙන්නේ ‍ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාගේ අධීක්ෂණය යටතේයි.

    Last modified on අඟහරුවාදා, 31 දෙසැම්බර් 2019 20:12

    Latest News