රවීන්ද්‍ර විජේගුණරත්න අද සේවයෙන් විශ්‍රාම යයි

දෙසැ 31, 2019

    ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතා අද සේවයෙන් විශ්‍රාම ගනු ලැබුවේය.

    වර්තමානයේ ශ්‍රී ලංකා ත්‍රිවිධ හමුදාවේ සිටින දීර්ඝතම සේවා කාලයක් හිමි සහ ජ්‍යෙෂ්ඨතම නිලධාරියා වන්නේ ඔහුයි. ඔහු 39 වසරක් නාවික හමුදාවේ සේවයේ නිරත විය. අද්මිරාල් විජේගුණරත්න මහතා 1980 නොවැම්බර් පළමුවැනි දින ශිෂ්‍ය භට නිලධාරියෙකු ලෙස නාවික හමුදාවට එක්විය. ඔහු දියයට සංග්‍රාමික සටන් පිළිබඳ විශේෂඥයෙකු වන අතර, දක්ෂ කිමිදුම්කරුවෙකු පැරෂුට් භටයෙකු මෙන්ම විශේෂ යාත්‍රා බලගණයට අයත් නිලධාරියෙකු ද වෙයි.

    1988 දී ලුතිතන්වරයෙකු ලෙස ඔහු යාපනය කලපුවේ දී එල්ටීටීඊයට එරෙහිව සටන් මෙහෙයුම සඳහා ද එක්විය. එම මෙහෙයුමේ දක්වන ලද වීරත්වය වෙනුවෙන් ඔහු රණවික්‍රම පදක්කමෙන් ද පිදුම් ලැබීමට සමත්විය. විශේෂ යාත්‍රා බලගණයේ අණදෙන නිලධාරී ලෙස මෙහෙයුම් ගණනාවකට ද ඔහු සහභාගී විය. සතුරු හමුදාවන් ඉදිරියේ දැක්වූ දක්ෂතාවන් හා කැපීපෙනෙන නිර්භීතමක හමුවේ වීර පදක්කම් 4කින් ද ඔහු පිදුම් ලබා තිබේ. 2015 ජුලි මස 11 වැනි දින නාවික හමුදාපති ලෙස පත්වීම් ලද ඔහු 2017 අගොස්තු 22 වැනි දින සිට ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී ලෙස රාජකාරී කරමින් සිටියේය. ඔහුගේ විශ්‍රාම ගැනීම නිමිත්තෙන් නාවික හමුදාව උත්සවයක් සංවිධාන කර තිබිණ.

    Last modified on අඟහරුවාදා, 31 දෙසැම්බර් 2019 11:10

    Latest News