වඳවී ගිය මැමත් සත්ව කොටස් ඔස්ට්‍රියාවෙන් මතුවේ

මැයි 27, 2024

    මැමත් සතුන්ගේ අස්ථි කොටස් කිහිපයක් සොයා ගැනීමට ඔස්ට්‍රියාවේ විද්‍යාඥයින් පිරිසකට හැකි වී තිබෙනවා.

    ලැන්ගෙන්ලොයිස් නගරයට ආසන්න ගොබල්ස්බර්ග් ගම්මානයේ වයින් ගබඩාවක් තුළ කරන ලද කැනීම් වලින් මෙම අස්ථි හමුවී තිබෙනවා. ලැන්ගෙන්ලොයිස් මහ නගර සභාව මෙය සියවසේ සොයා ගැනීම ලෙස නම් කර තිබෙනවා.

    කැනීම් වලින් දැවැන්තයන් තිදෙනෙකුගේ අස්ථි කොටස් ගොඩ ගෙන තිබෙනවා.

    ඔස්ට්‍රියානු විද්‍යා ඇකඩමියේ සහ ඔස්ට්‍රියානු පුරාවිද්‍යා ආයතනයේ මෙහෙයවීමෙන් මෙම කැනීම් කටයුතු සිදු කර ඇති අතර පොළව මට්ටමේ සිට අඩි 55ක් පමණ අභ්‍යන්තරයෙන් අස්ථි කොටස් හමු වී තිබෙනවා.

    මෙම අස්ථි කොටස් මීට වසර 30,000 - 40,000 කට පෙර මෙම ප්‍රදේශයේ ජීවත් වූ මැමත් සතුන්ගේ බව විද්‍යාඥයින් පවසනවා.

    කැනීම් වල මූලික අදියර මැයි 21 වනදා අවසන් වී තිබෙනවා.

    මෙම අස්ථි කොටස් හිමි දැවැන්තයින්ට උරුම වූයේ ස්වාභාවික මරණයක්ද නැතහොත් ඔවුන් දඩයමට ලක්වුනාද යන්නට උත්තර සෙවීම සඳහා මෙම වසර අවසානයේදී නැවතත් කැනීම් ආරම්භ වීමට නියමිතයි.

    වසර මිලියන ගණනකට පෙර පෘථවියේ ජීවත් වූ මෙම දැවැන්තයන් මීට වසර 10,000 - 14,000 ත් අතර කාලයේදී යුරෝපයෙන් සහ උතුරු අමෙරිකාවෙන් වඳවීම ආරම්භ වී තිබෙනවා.

    Latest News