ක්‍රිකට් නඩුව කල් යයි

නොවැ 16, 2023
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සඳහා අතුරු පාලක කමිටුවක් පත් කරමින් නිකුත් කරනු ලැබූ ගැසට් නිවේදනය සම්බන්ධයෙන් ලබන සදුදා තෙක් ඉදිරි ක්‍රියාමාර්ග නොගන්නා බවට ක්‍රීඩා අමාත්‍යවරයා ලබා දුන් ප්‍රතිඥාවට අනුව එම අතුරු කමිටුවේ කටයුතු වළක්වමින් පනවා තිබූ වාරණ නියෝගය දීර්ඝ නොකිරීමට අභියාචනාධිකරණය තීන්දු කළා.
     
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති ශම්මි සිල්වා මහතා විසින් ගොනු කළ පෙත්සම අද අභියාචනාධිකරණ විනිසුරු සෝභිත රාජකරුණා මහතා ඉදිරියේදී කැඳවනු ලැබුවා.
     
    එහිදී පෙත්සම්කාර පාර්ශ්වය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා මහතා සඳහා කළේ  ක්‍රිකට් අතුරු කමිටුවේ කටයුතු වළක්වාලමින් ඉකුත්දා පනවනු ලැබූ අතුරු තහනම් නියෝගය අද අවසන් වන බවයි.
     
    එම අතුරු නියෝගය තවදුරටත් දීර්ඝ කිරීම සම්බන්ධයෙන් විරෝධය පළ කරන බව කියා සිටී ක්‍රීඩා අමාත්‍යවරයා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ උදිත ඉගලහේවා මහතා කෙසේ වෙතත් මෙම පෙත්සම ලබන සදුදා සලකා බලන තෙක් ක්‍රිකට් අතුරු කමිටුව සම්බන්ධයෙන් නිකුත් කරනු ලැබූ ගැසට් නිවේදනය සම්බන්ධයෙන් ඉදිරි ක්‍රියාමාර්ග නොගන්නා බවට අධිකරණයට ප්‍රතිඥාවක් ලබා දුන්නා.
     
    ඒ අනුව පෙත්සම සලකා බැලීම ලබන සදුදා තෙක් කල් තැබුණා.

    Latest News