පහසුකම් නොමැතිවීම නිසා පීඩා විදින හලාවත ජනතාව

සැප් 01, 2023

    හලාවත වෙරළ උද්‍යානයේ පහසුකම් නොමැතිවීම හේතුවෙන් තමන්ට මේ වන විට දැඩි දුෂ්කරතාවන්ට මුහුණ පෑමට සිදුව ඇතැයි, ජනතාව පවසනවා.

    මෙම උද්‍යානය සංවර්ධනයට ද විශාල මුදලක් වැය කර තිබෙනවා.

    ස්වාභාවික ගල්පරවලින් යුතු වයඹ වෙරළ තීරය චිත්තාකර්ෂණිය භූමි තීරයක් ලෙසයි සැලකෙන්නේ. ඒ අතරින් හලාවත වෙරළ තීරයට හිමි වන්නේ සුවිශේෂී ස්ථානයක්.

    මෙම මුහුදු වෙරළේ අසිරිය විඳගැනීමට දෛනිකව ලොකු කුඩා විශාල පිරිසක් පැමිණෙනවා. පසුගිය කාලයේ මෙහි සංවර්ධන කටයුතු සිදු කර ඇත්තේ, ඇවිදින මංතීරු, ක්‍රීඩා පිටියක්, ළමා උද්‍යානයක්, පනීපාරක්ෂක පද්ධතියක් ඇතුළු පහසුකම් රැසක් මෙන්ම, ක්‍රමවත් විදුලි ආලෝක පද්ධතියක් ද අදාළ ස්ථාන වෙත එක් කරමින්. ඊට රුපියල් කෝටි දෙකක පමණ වියදමක් දරා තිබුණා. එහෙත්, මේ වන විට උද්‍යානය නිසි පරිදි නඩත්තු නොකිරීම නිසා අදාළ ප්‍රදේශය ජනතාවට ප්‍රයෝජනයට ගත නොහැකි ආකාරයෙන් විනාශ මුඛයට යමින් පවතිනවා.


    මෙම වෙරළ තීරයේ රාත්‍රී කාලයේ විවිධ නීති විරෝධී ක්‍රියා සිදු වන බවටත් ජනතාව චෝදනා කරනවා. තැනින් තැන කැළි කසළ විශාල ලෙස එකතු වීම නිසා දැඩි දුර්ගන්ධයක් ද වහනය වෙමින් පවතිනවා. හලාවත වෙරළ උද්‍යානය පාලනය කරන්නේ, එම නගර සභාවයි.
    දෙස් විදෙස් සංචාරකයන්ගේ ආකර්ෂණය අඛණ්ඩව ලබා ගත හැකි මෙවැනි ස්ථාන විනාශවීමට නොදී නිසි පරිදි නඩත්තු කර, සුවපහසුවෙන් කාලය ගත කළ හැකි ස්ථාන බවට පත් කරන ලෙස ජනතාව බලධාරීන්ගෙන් ඉල්ලා සිටිනවා.

    Latest News