මෙරට‍ 8වැනි විධායක ජනාධිපතිවරයා වන රනිල් වික්‍රමසිංහ මහතා පිළිබඳ සටහනක්

ජූලි 21, 2022

    කොළඹ රාජකීය විදුහලෙන් මූලික අධ්‍යාපනය ලද රනිල් වික්‍රමසිංහ මහතා, කොළඹ විශ්වවිද්‍යාලයේ නීති උපාධිධරයෙක්.

    එතුමා දේශපාලනයට පිවිසියේ නීති ශිෂ්‍යයෙකු ලෙස සිටියදී. 1977 දී බියගම ආසනය ජය ගනිමින් ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවට තේරී පත් වූ වික්‍රමසිංහ මහතා, ජනාධිපති ජේ. ආර්. ජයවර්ධන මහතාගේ ආණ්ඩුවේ විදේශ කටයුතු පිළිබඳ නියෝජ්‍ය අමාත්‍යවරයා වුණා. වික්‍රමසිංහ මහතා, මෙරට ලාබාලතම කැබිනට් අමාත්‍යවරයා ලෙස වාර්තාවකට ද හිමිකම් කියනවා. වයස අවුරදු 28 දී ඔහු කැබිනට් මණ්ඩල‍ සාමාජිකයෙකු වූයේ, තරුණ කටයුතු සහ රැකී රක්ෂා අමාත්‍යවරයා ලෙසයි. අධ්‍යාපන හා කර්මාන්ත අමාත්‍ය ධූරයන් හෙබවූ කාලය තුළදී එතුමා අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සහ නව කර්මාන්ත ප්‍රතිපත්තියක් රටට දායාද කළා. කාර්මික සංවර්ධන පනත ගෙන එමින් කර්මාන්තශාලාවලට පස් අවුරුදු බදු සහන ලබාදීම හා කාර්මික කොමිසම පත් කිරීම වික්‍රමසිංහ මහතාගේ අමාත්‍ය ධුරයට යටතේ සිදු වූවක්.

    අධ්‍යාපන විද්‍යාපීඨ හා බෙල්වුඩ් රූපවාහිනී ගම්මානය පිහිටුවීමට වික්‍රමසිංහ මහතාගේ අදහසක් අනුව සිදුවුණා. මෙරට තරුණ නායකත්ව සංවර්ධනය සඳහා ජාතික තරුණ සේවා සභාව ආරම්භ කිරීම සහ යොවුන් පුරය ද රනිල් වික්‍රමසිංහ මැතිතුමාගේ සංකල්පයක් වනවා. මහරගම ජාතික අධ්‍යාපන ආයතනය හා අධ්‍යාපන කොමිසම ආරම්භ කිරීමේ ගෞරවය හිමිවන්නේද වික්‍රමසිංහ මහතාටයි. ඔහු, 1994 දී එක්සත් ජාතික පක්ෂයේ නායකත්වයටත් ‍තේරීපත්වුණා. 2001 මහ මැතිවරණයෙන් ආසන 109ක් ලබා ජයග්‍රහණය කළ රනිල් වික්‍රමසිංහ මැතිතුමා, මෙරට 17 වැනි අග්‍රාමාත්‍යවරයා ලෙස තේරී පත්වුණා. අනතුරුව 2005 මැතිවරණයේදී විපක්ෂනායක ධූරයට පත්වීමෙන් අනතුරුව 2015 ජනාධිපතිවරණය සදහා පොදු අපේක්ෂයෙකු පිළිබද සංකල්පය ඉදිරියට ගෙන යමින් එතුමා කැපවීමෙන් ක්‍රියාකළා. එම ජයග්‍රහණයත් සමග මෛත්‍රීපාල සිරිසේන මහතා නව ආණ්ඩුවේ අග්‍රාමාත්‍යරවයා ලෙස වික්‍රමසිංහ මහතා පත්කළා. 2015 අගෝස්තු පැවැති මහ මැතිවරණයෙන් එත්සත් ජාතික පෙරමුණ ආසන 106ක් ලබා ගනිමින් ජයග්‍රහණය කළ අතර එම ආණ්ඩුවේ ද අග්‍රාමාත්‍යධූරයට පත්වුයේ රනිල් වික්‍රසිංහ මහතායි. අනතුරුව වසර 3 හමාරක කාලයක් යහපාලන ආණ්ඩුව ක්‍රියාත්මක වුණා.

    වසර ගණනාවක සිට පාර්ලිමේන්තු ප්‍රජතන්ත්‍රවාදය සුරක්ෂිත කිරීමට කැපවූ එතුමාගේ කාර්ය භාරය අන්තර් ජාතික වශයෙන් ද ඇගයීමට ලක්වුණා. ආසියා ශාන්තිකර ප්‍රජාතන්ත්‍රවාදී සංගම‍යේ සභාපති ධූරයට පත්වූ වික්‍රමසිංහ මහතා අන්තර්ජාතික ප්‍රජාතන්ත්‍රවාදී සංගමයේ සභාපති ධූරයෙන් ද පිදුම් ලැබුවා. බුදු දහම සහ ඉතිහාසය පිළිබද විශේෂ උනන්දුවක් දක්වන වික්‍රමසිංහ මහතා “දේශපාලනය සහ ධර්මය” නැමැති ශාස්ත්‍රීය ග්‍රන්ථය ද රචනා කළා. පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස ශ්‍රී ලංකාවේ ආර්ථික, අධ්‍යාපන හා මානව හිමිකම් කෂේත්‍රයන්හි ප්‍රගමනය උදෙසා වික්‍රමසිංහ මහතා ඉටුකළ මෙහෙය වෙනුවෙන් එතුමාට ඔස්ට්‍රේලියා‍වේ ඩීකන් විශ්වවිද්‍යාලය මගින් ආචාර්ය උපාධියක් ද පිරිනමා තිබෙනවා. 2001 වසරේදී මෙරට ආර්ථික වර්ධන වේගය ඍන අගයක්ව පැවතුණා. ඩොලර් සංචිත වේගයෙන් පිරිහෙමින් පැවති අතර එහිදී ද ආර්ථිකය යළි ගොඩනැගීමේ වගකීම ද ජනතාව විසින් පවරනු ලැබුවේ රනිල් වික්‍රමසිංහ මහතාටයි. රුපියල ස්ථාවර කරමින් හා විදෙස් සංචිත ශක්තිමත් කරමින් බිද වැටෙමින් තිබු ආර්ථිකය ගොඩනැගීමට වික්‍රමසිංහ මහතා ඉටුකළ කාර්ය භාර්ය ඉතිහාසයේ සඳහන්.

    පසුගිය මැයි මාසයේ දී රනිල් වික්‍රසිංහ මහතා යළිත් වරක් අග්‍රාමාත්‍ය ධූරයට පත්වන්නේ, ‍අප රට දැවැන්ත ආර්ථික අර්බුදයකට මුහුණ දී සිටින අවස්ථාවකයි. එම තත්වයෙන් අත් මිදීම සඳහා වික්‍රමසිංහ මහතා, තමා සතු අත්දැකීම් ප්‍රයෝජනයට ගනිමින් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ඇතුළු අන්තර් ජාතික මූල්‍ය ආයතන රැසක් සමග කඩිනම් සාකච්ඡා ආරම්භ කළා. එම සාකච්ඡා දැන් අවසන් අදියරට ලං වී තිබෙනවා. අඩ සියවසකට ආසන්න කාලයක් අඛණ්ඩව මැතිසබය නියෝජනය කරමින් ප්‍රජාතන්ත්‍රවාදය ශක්තිමත් කිරීමට දිරිදුන් නායකයෙක් ලෙස නව ජනාධිපතිවරයා අනාගත රාජ්‍ය පාලනයේ සුවිශේෂි කාර්යයක් ඉටුකරනු ඇති.

    Latest News