වසරේ මුල් මාස 5 තුළ, චීනයේ ආනයන හා අපනයනවල වර්ධනයක්

ජූනි 09, 2021

    මෙම වසරේ මුල් මාස පහ තුළ චීනයේ සමස්ත ආනයන හා අපනයන වටිනාකම පසුගිය වසරේ එම කාලයට වඩා 28.2% කින් වැඩි වී ඇත.

    ඒ බව චීන පොදු රේගු දෙපාර්තමේන්තුව පළ කළ නවතම සංඛ්‍යාලේඛනවල දැක්වේ. අපනයනය 30.1 %කින් හා ආනයනය 25.9%කින් බැගින් වර්ධනය වූ අතර මැයි මාසය වන විට මාස 12ක අඛණ්ඩ වර්ධන ප්‍රවණතාවක් පෙන්නුම් කළ බව ද එහි සඳහන් වේ.

    චීන විදේශ වෙළඳාමේ ශක්තිමත් පුනර්ජීවනය, ගෝලීය ආර්ථික පුනරුත්ථාපනයට අනුබලය මෙන් විශ්වාසය ද ගෙන දී තිබේ. රට තුළ විදේශ වෙළඳාමෙහි නිරත වන ව්‍යාපාර සඳහා චීන රජය එළිදැක්වූ ප්‍රතිපත්ති, එම ව්‍යාපාර වසංගතයට මුහුණ දීම සඳහා ශක්තිමත් රුකුලක් වී ඇත. මේ අතර චීන විදේශ වෙළඳාම අඛණ්ඩව යහපත් වීම, විවිධ රටවල් එන්නත්කරණය පුළුල් කිරීම හා ජාත්‍යන්තර ඉල්ලුම් වර්ධනය වීම අතර සම්බන්ධයක් දැකිය හැකිය.

    මෑතකදී ඇමරිකා‍නු හා යුරෝපීය රටවල කාර්මික දර්ශක අඛණ්ඩ ව ඉහල ගොස් ඇත. මෙය චීනයේ අපනයන වර්ධනයට සාධකයකි. මෙම වසරේ මුල් මාස පහ තුළ චීනය අපනයනය කළ යන්ත්‍රෝපකරණ වටිනාකම 31.9%කින් වැඩි වූ අතර එය සමස්ත අපනයන වටිනාකමෙන් 60%ක් පමණ ගෙන ඇත.

    ගෝලීය වසංගත පාලන මෙහෙයුම් තුළදී චීනයට විශාල පරිමාණයේ වෛද්‍ය උපකරණ හා වසංගත පාලන භාණ්ඩ සැපයිය හැකි ය. විවිධ රටවල ආර්ථික පුනරුත්ථාපනය සඳහා චීනයට ඉහළ අතිරේක වටිනාකම් සැපයෙන කර්මාන්ත නිෂ්පාදිත ලබා දීමේ හැකියාවක් සතු වන බව ද පැහැදිලි වේ.

     

     

     

    වාර්තාව : මෝතිලාල් හිස්සැල්ල - චීනයේ සිට

    Latest News