ආර්ථික සවියට තෙල්

ඔක් 23, 2018

    ලෝක ඛනිජ තෙල් කර්මාන්තයේ පුරෝගාමී රට ලෙස සැලකෙන්නේ රුසියාවයි. ගල් අඟුරු වෙනුවට ද්‍රව ඉන්ධන භාවිතාවට 1858 වන විට අමෙරිකාව පුරුදුවෙමින් සිටියත් ඊට පෙර රුසියාව බාකු ප්‍රදේශයේ ඛනිජ තෙල් ළිං 200 ක් පමණ ක්‍රියාත්මක කරමින් තෙල් ප්‍රවාහනය සඳහා නළ මාර්ග ද ඉදිකර තිබුණි. 1878 වන විට ප්‍රථම තෙල් නැව ඉදිකරන ලදී. කැනඩාව ද 19 සියවස මුල සිට තෙල් කර්මාන්තයට සම්බන්ධ වූ රටකි.

    තෙල් ගවේෂණය, උකහා ගැනීම, පිරිපහදුව සහ ප්‍රවාහනය යන අංශයන්ගෙන් යුතු තෙල් කර්මාන්තයේ ඉතා වැදගත් අංශය වන්නේ තෙල් ගවේෂණයයි. තෙල් මිල පහළ යන විට තෙල් ගවේෂණ කටයුතු සඳහා මුදල් ආයෝජනයට ආයෝජකයෝ මැළි වෙති. එහෙත් තෙල් මිල ගණන් ඉහළ යන විට තෙල් ගවේෂණයට මුදල් ආයෝජනය කිරීමට ආ‍යෝජකයෝ පෙරට එති. දැන් උදා වී ඇත්තේ ඒ තත්ත්වයයි.

    තෙල් සහ ගෑස් නිධි ගවේෂණයට අත තබා ඇති ශ්‍රී ලංකාවේ ගවේෂණ කටයුතු සඳහා ආයෝජකයන් සොයා ගැනීමේ දුෂ්කරතා පැවැතියත්, දැන් ඒ තත්ත්වය ක්‍රමයෙන් වෙනස්වන බවත්, ශ්‍රී ලංකාවේ තෙල් ගවේෂණය සඳහා ආයෝජකයන්ගේ උනන්දුව වැඩිවෙමින් පවතින බවත් ශ්‍රී ලංකා ඛනිජ සම්පත් සංවර්ධන ලේකම් කාර්යාලයේ අධ්‍යක්ෂ ජනරාල් වජිර දසනායක මහතා කියයි.

    පූර්ව ගවේෂණ කටයුතු සඳහා අවශ්‍ය මුදල් සියල්ලම ජාත්‍යන්තර ආයෝජකයන් වෙතින් ලබාගැනීමට ශ්‍රී ලංකාව සමත්ව සිටින්නේ යැයි ද මේ තත්ත්වය ශ්‍රී ලංකාව ලද විශාල ජයග්‍රහණයකැයි ද වජිර දසනායක මහතා තවදුරටත් පවසයි. මේ සඳහා මැදපෙරදිග සහ යුරෝපීය ආයෝජකයන් කැමැත්ත පළකර ඇතැයි ද ඒ මහතා කියයි. සඳුදා (ඊයේ) කොළඹ පැවැති පුවත්පත් සාකච්ඡාවකදී ද මේ පිළිබඳ තොරතුරු රාශියක් හෙළි විය.

    රුසියන් තෙල් ඉන්ධන සතිය

    ශ්‍රී ලංකාවේ ඛනිජ තෙල් ගවේෂණය සඳහා ලංකාවේ සහායට ප්‍රථමයෙන්ම අතදුන්නේ සෝවියට් රුසියාවයි. පසුගිය සතියේ රුසියාවේදී පවත්වන ලද රුසියන් ඉන්ධන සතිය සමු‍ළුවේ රැස්වීමට සහභාගිවීමට ශ්‍රී ලංකාවට ද අවස්ථාව ලැබුණි. වසර 35 කට පෙර රුසියානු ගවේෂණ කණ්ඩායම් මඟින් රැස්කරගත් දත්ත නැවත ලබාගැනීමේ උත්සාහයක් දියත් කිරීමට ශ්‍රී ලංකාව එහිදී කටයුතු කළාය. රුසියාවේ ශ්‍රී ලංකා තානාපති ආචාර්ය දයාන් ජයතිලක මහතා ද එහිදී ක්‍රියාකාරී සහාය පළ කෙළේය. එසේම ශ්‍රී ලංකාවේ රුසියානු තානාපති කාර්යාලය ද මේ පිළිබඳව අවශ්‍ය සහාය දීමට ඉදිරිපත් විය.

    එම සමුළුවට ශ්‍රී ලංකාව වෙනුවෙන් සහභාගි වූ ඛනිජ සම්පත් ලේකම් කාර්යාලයේ ලේකම් වජිර දසනායක මහතා පවසන්නේ වසර 35 කට පෙර ගවේෂණයට සම්බන්ධ වූ රුසියානු ආයතනවල ව්‍යුහය මේ වන විට දැඩි සේ වෙනස්ව තිබීම තරමක බාධාවක් බවය.

    ගුවන්ගත චුම්භක හා ගුරුත්වාකර්ෂණ දත්ත ලබාගැනීම ද ඛනිජ තෙල් හා වායු ගවේෂණයේදී ක්‍රියාත්මක කරනු ලබන තවත් පර්යේෂණ ක්‍රමයකි. මේ සඳහා අපේම ගුවන් යානා භාවිතා කිරීම ඛනිජ ලේකම් කාර්යාලයේ අදහසයි. කඩිනමින් මේ පර්යේෂණ ද ඇරැඹෙනු ඇත.

    පූර්ව පරීක්ෂණ මඟින් පෙනී ගොස් ඇත්තේ පුත්තලම වෙරළබඩ සහ යාපනය ප්‍රදේශයේ එවැනි චුම්භක විශේෂතා සහිත කලාප හඳුනාගෙන ඇති බවයි. ඉතාම කඩිනමින් මෙම පරීක්ෂණය සිදුකිරීමට ශ්‍රී ලංකාව දැන් සියලු මූලික කටයුතු නිමකර ඇත.

    ශ්‍රී ලංකාවේ ඛනිජ ‍සම්පත් ගවේෂණය කඩිනම් කිරීමට රජය ගත් තීරණය අනුව බී. ජී. පී. පයනියර් නෞකාව සැප්තැම්බර් මුල් සතියේ උතුරු නැඟෙනහිර තෝරාගත් ප්‍රදේශයන් දෙකක් (JSV සහ JSVI) ද්විමාන භූ කම්පන දත්ත ලබාගැනීමේ කටයුතු ආරම්භ කළාය. දැනට කිලෝමීටර් (LKM) 5000 ප්‍රදේශයක දත්ත ලබාගෙන හමාර යැයි ඛනිජ සම්පත් ලේකම් කාර්යාලය කියයි. පයනියර් නෞකාව තවම සිය රාජකාරියේ නිරතව සිටී.

    මීට අමතරව මන්නාරමින් උතුරට විහිදී නැඟෙනහිර වෙරළ තෙක් විහිදෙන කාවේරි ද්‍රෝනියේ C4 සහ C5 කොටස් දෙකක් ද ද්විමාන භූ කම්පන දත්ත ලබාගැනීමට පයනියර් නෞකාව සමත්ව සිටී. කාවේරි කොට්ඨාසය ඉතා නොගැඹුරු ප්‍රදේශයක් නිසා ටොන් 5739 ක් බරැති එම නෞකාවට බැරෑරුම් රාජකාරියක් ඉටුකිරීමට සිදුව ඇත. මිල කළ නොහැකි අති සූක්ෂම උපකරණ රාශියක් දවටාගෙන 45 ක් වූ පර්යේෂණ මණ්ඩලයක් ද සමඟ මේ පර්යේෂණ යාත්‍රාව ගමන් ගන්නේ ද සිය පර්යේෂණ කරගෙන යන්නේ ද පරිවාර යාත්‍රා හතරක රැකවරණ ද සහිතවය. පර්යේෂණයට භාජනය වන ප්‍රදේශයන්ගෙන් ධීවර යාත්‍රා හා ධීවරයන් තාවකාලිකව ඉවත් කර තැබීම සඳහා ද ධීවර ආම්පන්න රැකගැනීම සඳහා ද ධීවරයන්ගෙන් සැදුම්ලත් ආරක්ෂක වැඩපිළිවෙළක් ද ක්‍රියාත්මක වේ. මේ සියල්ල අධීක්ෂණය කරනු ලබන්නේ ලේකම් කාර්යාලය මඟිනි.

    කාවේරි ද්‍රෝනිය 1967 සිටම විවිධ ඛනිජ ගවේෂණයනට ලක්වූ ප්‍රදේශයකි. මේ ප්‍රදේශයෙන් ශ්‍රී ලංකාවට අයත් කොටස වර්ග කිලෝමීටර් 2000 කි. මන්නාරම් ද්‍රෝනියේ ගවේෂණ කටයුතු ඇරැඹුණේ 1974 දී ඒ සෝවියට් විශේෂඥ උපදෙස් හා ආධාර මතය. එම ව්‍යාපෘතිය මඟින් පේසාලේ I, පේසාලේ II සහ පේසාලේ III යනුවෙන් ගැඹුරු ළිං තුනක් හෑරීමෙන් පසු එම ව්‍යාපෘතිය නතර කර දැමීමට සිදුවිය. එහෙත් ශ්‍රී ලංකාව ඉතා ඉක්මනින් ඛනිජ සම්පත් පෙරළියක් කරනු ඇත.

    ජාත්‍යන්තර තෙල් මිල

    පසුගිය සමයේ ශ්‍රී ලංකාවේ ඛනිජ තෙල් ගවේෂණ කටයුතු අතහැර දැමීමට සිදුවූයේ ශ්‍රී ලංකාවේ ‍වරදකින් නොව ජාත්‍යන්තරව සිදුවූ තෙල් මිල පහත වැටීම නිසාය. 2014 බොරතෙල් බැරලයක ජාත්‍යන්තර මිල ඇ. ඩොලර් 99 ක් වුවත් 2015 දී බොරතෙල් බැරලයක මිල ඇ. ඩොලර් 53 දක්වා පහත වැටුණි. 2015 වසර අවසන් වන විට බොරතෙල් බැරලයක මිල ඇ. ඩොලර් 36 - 38 මට්ටමට පහළ වැටුණි. මේ තරම් දුරට තෙල් මිල පහත වැටුණේ 2009 වසරෙන් පසුවය. මෙවැනි පරිසරයක් මැද තෙල් ගවේෂණ කටයුතු ද ඇනහිටියේය. මන්නාරම් ද්‍රෝනියේ වසර 7 ක් ගවේෂණ කටයුතු කළ කෙයාන් ලංකා සමාගමය ගවේෂණ කටයුතුවලින් ඉවත් වූයේ එවැනි ජාත්‍යන්තර තත්ත්වයක් 2015 ඔක්තෝබරයේ නිර්මාණයව තිබූ නිසාය.

    වසර 3 කට පසු 2018 ඔක්තෝබරය වන විට ජාත්‍යන්තර තෙල් මිල බැරලය ඩොලර් 85 දක්වා ඉහළ ගොසිනි. එහෙයින් ආයෝජකයෝ නැවත තෙල් කර්මාන්තයට ආකර්ෂණය වෙමින් සිටිති.

    මේ තත්ත්වයෙන් ප්‍රයෝජන ගනිමින් (M 2) වශයෙන් හැඳින්වෙන මන්නාරම් ද්‍රෝනියේ කොටසේ ඉදිරි කටයුතු කරගෙන යෑම සඳහා සුදුසු ආයෝජ‍කයකු සොයාගැනීම රජයේ මීළඟ පියවරයි. ඉහත් සඳහන් M2 කොටසින් ස්වභාවික ගෑස් නිධි දැනටමත් සොයාගෙන ඇත. මෙම වායු නිධි සංවර්ධනය කිරීම සහ ගෑස් නිෂ්පාදන කටයුතු සඳහා ජාත්‍යන්තර ආයෝජකයෙක් සොයාගැනීම සඳහා ඉදිරි දෙසතිය තුළ ටෙන්ඩර් කැඳවන බව ඛනිජ සම්පත් සංවර්ධන ‍ලේකම් කාර්යාලයේ අධ්‍යක්ෂ ජනරාල්වරයා කියයි.

    මෙහි ඇති ඛණිජ ශක්‍යතාව සලකා බලා වාණිජ මෙහෙයුම් ආරම්භ කළහොත් විදුලිබල නිෂ්පාදනයෙන් සෑහෙන කොටසක් දේශීය ස්වභාවික සම්පතින් නිෂ්පාදනය කර ගැනීමට අවස්ථාව උදා වේ. එසේම ප්‍රවාහන හා ගෘහස්ත යන අංශ සඳහා ගෑස් සම්පත භාවිතයට ගැනීමට ද අපේක්ෂා කෙරේ. එමඟින් ඉතා විශාල ධනයක් රට තුළ රඳවා ගැනීමට ද ඉඩකඩ සැලකේ.

    පයනියර් ගවේෂණ නෞකාව විසින් ඉටුකළ තවත් සේවාවක් නම් කොළඹ සිට පොතුවිල් දක්වා වන මුහුදු කලාපය විමර්ශනය කිරීමයි. මෙවැනි නෞකාවක් පර්යේෂණය සඳහා යොදවා ගැනීම ඉතා වියදම්කාරී ක්‍රියාවකි. එහෙයින් එම නෞකාව සතු සම්පත් භාවිතා කරගනිමින් උපරිම සේවාවක් එමඟින් ලබාගැනීම ලේකම් කාර්යාලයේ උත්සාහයයි.

    මේ නෞකාව මඟින් ලබාගන්නා දත්ත විශ්ලේෂණය කිරීම සඳහා මැලේසියාවේ පර්යේෂණ ආයතනයක සහාය ලබාගැනීමට ද නියමිතය. ඒ සඳහා ද මාස 4 - 5 කාලයක් වැයවනු ඇත.

    මේ දත්ත ඉතා ඉහළ ආර්ථික වටිනාකමකින් යුතුය. වසර 35 ක් පැරැණි රුසියානු දත්ත සොයාගැනීමට වෙහෙසෙන්නේ ද ඒවායේ ඇති වටිනාකම ගැන ද අවබෝධකර ගැනීම නිසා 2008 සිට මන්නාරම් කොටසේ ගවේෂණ සිදුකළ CAIRN සමාගම 2015 සිය ගවේෂණ නවතා දැමුවද, එම ගවේෂණ පිළිබඳ දත්ත තොරතුරු සමුදායක් ශ්‍රී ලංකාව සතුවීමේ වාසිය අප රටට අයිති විය. ද්විමාන දත්ත හැදෑරීම මඟින් ඊළඟ අවස්ථාව වන ත්‍රිමාණ දත්ත ලබාගැනීමකට පිවිසීමට ඉඩ ලැබේ. මෙය ගවේෂණ ආයතනයකට මෙන්ම ආයෝජයකු හට ද එක සේ ප්‍රයෝජනවත් මූලාශ්‍රයකි.

    නැඟෙනහිර මුහුදු කලාපයෙන් ඔබ්බේ පිහිටි ඉතා ගැඹුරු මුහුදු කොටස් දෙකක ප්‍රාථමික ගවේෂණ කටයුතු කරගෙන යෑම සඳහා 2016 වසරේ පෙබරවාරි මාසයේ දැවැන්ත බහුජාතික සමාගමක් වූ TOTAL E/P සමාගමය සමඟ ශ්‍රී ලංකාව ගිවිසුමකට අත්සන් කරන ලදී. එම ගවේෂණ ඉදිරියට ගෙන යෑම සඳහා ද පයනියර් නෞකාවේ පර්යේෂණ දත්ත විශ්ලේෂණ ආධාරයකි. මේ දත්ත ධනාත්මක වන බව ඛනිජ සම්පත් සංවර්ධන ලේකම් කාර්යාලයේ විශ්වාසයයි. දත්ත පරීක්ෂණ සහ විශ්ලේෂණ කටයුතුවලදී ලේකම් කාර්යාලයේ භූ විද්‍යාඥයන් කණ්ඩායමක් ද සහාය වෙති.

    මන්නාරම් තෙල් කලාපය

    ශ්‍රී ලංකාවේ මන්නාරම් කලාපයේ ස්වභාවික ගෑස් ඝන අඩි ට්‍රිලියන 9 ක් පමණ ස්ථානගතව ඇතැයි රොයිටර් වාර්තාවක් ද කලකට පෙර ප්‍රකාශ කර තිබුණි. එසේම තවත් වාර්තාවක් පවසා තිබුණේ මන්නාරම් කලාපයේ තෙල් සම්පත් ද ඇති බවයි.

    2003 පෙට්‍රෝලියම් පනත යටතේ ස්ථාපිත කරන ලද ඛනිජ සම්පත් සංවර්ධන ලේකම් කාර්යාලය 2017 සහ ඉන් ඉදිරිය සඳහා වන කටයුතු ප්‍රධාන වශයෙන්ම දත්ත ලබාගැනීම සහ ගවේෂණය, ස්වභාවික වායු වාණිජකරණය, ප්‍රතිපත්ති සම්පාදනය සහ අක්වෙරළ ගවේණ කටයුතු සඳහා වන නීතිමය රාමුව කෙරෙහි යොමුව ඇති ආයතනයකි. එසේම ශ්‍රී ලංකාව ඛනිජ තෙල් ආර්ථිකයක් කරා යොමුකිරීමේ කාර්ය භාරයෙන් වැඩි කොටසක් ද එම ලේකම් කාර්යාලයට පැවරී තිබේ.

    ඛනිජ තෙල් සහ ගෑස් නිෂ්පාදන අංශය සිය ආර්ථිකය තුළට ඇතුළත් කර ගැනීමට කලාපීය රටවල් බොහොමයක් දැන් මහන්සි ගනියි. ශ්‍රී ලංකාවේ ඛනිජ තෙල් සහ ගෑස් නිෂ්පාදන කටයුතු වසර 30 කින් ප්‍රමාද කිරීමට සිවිල් යුද්ධය බලපෑවේය.

    ඉන්දියාව සිය ප්‍රථම ඛනිජ තෙල් නිධිය සොයාගත්තේ 1889 දී ඇසැම් ප්‍රාන්තයෙනි. ප්‍රථම ස්වභාවික ගෑස් නිධිය 1960 දී ද ඇසැමයෙන් සොයාගත්තාය. අනතුරුව ගුජරාටයෙනි.

    අද වන විට අරුණචෙල්, නාගලන්තය, තමිල්නාඩුව රාජස්ථානය සහ ත්‍රිපුර ප්‍රාන්තයෙහි ඛනිජ හා ගෑස් සොයාගෙන රටේ ආර්ථික සංවර්ධනයට එම අංශ දායක කරගෙන සිටී.

    පාකිස්තානය සිය ප්‍රථම ස්වභාවික ගෑස් නිධිය 1952 දී බලුකිස්ථානයෙන් සොයාගන්නා ලදී. 1964 දී කර්මාන්තයක් වශයෙන් එම අංශය දියුණු කිරීම ඇරඹිණ. සිය ප්‍රථම තෙල් ළිඳ කැණීම 1964 දී ආරම්භ කළාය. 1967 එහි නිෂ්පාදන වෙළෙඳ පොළට නිකුත් විය. අද පකිස්තානය ද සිය ඛනිජ තලේ සහ ගෑස් නිෂ්පාදනය සංවර්ධනයට දායක කරගෙන තිබේ.

    මියන්මාරය (බුරුමය) සිය ප්‍රථම තෙල් ළිඳ ආරම්භ කෙළේ 1853 දීය. අද වන විට ස්වභාවික ගෑස් නිෂ්පාදනය අතින් කලාපයේ දැවැන්තමයා වීමට සැලසුම් සකස් කරමින් සිටී. දේශපාලන ස්ථාවරත්වය සහ ආර්ථික ප්‍රතිසංස්කරණ මඟින් සෘජු විදේශ ආයෝජන යොදාගනිමින් වාර්ෂිකව බොරතෙල් බැරල් ලක්ෂ 6 ක් නිෂ්පාදනය කිරීමට මියන්මාරයට හැකියාව ලැබී ඇත. ඛනිජ තෙල් කර්මාන්තයට 2017 හිමිවූ විදේශ ආයෝජනය ඇ. ඩොලර් බිලියන 22.4 කි.

    කරුණාරත්න අමරතුංග

    Latest News