සිනමා නිර්මාණ කිහිපයක් ජනගත කෙරේ

සැප් 22, 2019

    සිනමා නිර්මාණයක් මුල් කරගෙන, සාහිත්‍යමය සංවාදයක් ගොඩනැගෙන්නේ නම්, එය සාධනීය ලක්‍ෂණයක්.

    අශෝක හඳගම සිනමාවේදියාගේ අසන්ධිමිත්තා සිනමා නිර්මාණය ඇසුරින් එබඳු සාහිත්‍ය කෘති දෙකක් පසුගිය සතියේ ජනගත කෙරිණ.

    අජිත් ගලප්පත්ති විසින් රචිත “රූපයේ අසන්ධිමිත්‍රකම“ සිනමා විමර්ශන ග්‍රන්ථය ජාතික චිත්‍රපට සංස්ථා ශ්‍රවණාගාරයේ දී එළිදක්වනු ලැබීය. එය රචනා කර ඇත්තේ “රූප සම්මුච්ච විචාර“ විධික්ක්‍රමය හඳුන්වා දෙමින්. සරසවි ප්‍රකාශනයක් වන මෙම ග්‍රන්ථය උත්සවයේ දී සම්භාවනීය අමුත්තන්ට පිළිගන්වනු ලැබුවේ එහි කර්තෘ අජිත් ගලප්පත්ති විසින්.

    ආචාර්ය සරත් අමුණුගම මෙහිදී “සිනමාව හා හඳගම අතර සමෝධානය“ නමින් දේශනයක් පැවැත්විය. දීප්ති කුමාර ගුණරත්න මහතාගේ දේශනය නම්කර තිබුණේ “කිසලොවිස්කි හරහා සමනලි දෘෂ්ටිවාදයට විචාරයක්“ යනුවෙන්.

    සිනමාවේදී අශෝක හඳගමගේ “ආදරය ගැන දෙබසක්“ නවතම කෙටි චිත්‍රපටය ද මෙහිදී ප්‍රදර්ශනය කෙරිණ.

    ප්‍රියාන් විජේබණ්ඩාර විසින් රචිත “අසන්ධිමිත්තා-විචාර ප්‍රතිචාර සංග්‍රහය“ කොළඹ මහවැලි කේන්ද්‍රයේදී එළිදැක්විණ. එහි ප්‍රධාන සංස්කාරක වන්නේ ද ඔහුයි. සමන් වික්‍රමාරච්චිගේ අසන්ධිමිත්තා නවකතාව ඇසුරින් අශෝක හඳගම අධ්‍යක්‍ෂණය කළ “අසන්ධිමිත්තා“ සිනමා කෘතිය පිළිබඳ විචාර 17ක් ඊට ඇතුළත්. ඒවා සම්පාදනය කරනු ලැබ ඇත්තේ ප්‍රවීණ සිනමා විචාරකයින් විසින්. දේශන රැසක් ද මෙහිදී පැවැත්විණ. විචාරකයින් පිරිසකට “අසන්ධිමිත්තා“ සිනමා පටයේ ඩී.වී.ඩී. තැටි සහ විචාර ප්‍රතිචාර සංග්‍රහය පිළිගැන්වීම ද සිදු කෙරුණේ මෙම උත්සවයේදී.

    පරාක්‍රම නිරිඇල්ලගේ “ගිරා පන්තිය“ වේදිකා නාට්‍ය ශ්‍රී ලංකා පදනම් ආයතනයේ දී වේදිකා ගත කෙරිණ. එය සංවිධාන කරනු ලැබුවේ සංස්කෘතික පුනර්ජීවන කේන්ද්‍රය විසින්.

    Latest News