විශිෂ්ටතම ගේය කාව්‍ය සංග්‍රහයට හිමි විද්‍යෝදය සම්මානය නිලාර්ගේ “සරස වසන්තය“ට

සැප් 04, 2019

    වසරේ විශිෂ්ටතම ගේය කාව්‍ය සංග්‍රහයට හිමි විද්‍යෝදය සම්මානය, ජාතික රූපවාහිනියේ ප්‍රවෘත්ති හා කාලීන සිදුවීම් අංශයේ අධ්‍යක්‍ෂ නිලාර් එන් කාසිම් මහතාට හිමිවිය.

    ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිදයාලයීය 60 වැනි සංවත්සරයට සමගාමීව පැවති “විද්‍යෝදය සාහිත්‍ය සම්මාන ප්‍රදානෝත්සවය“ ඊයේ එම විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණ. විකල්ප සාහිත්‍ය උළෙලක් වන “විද්‍යෝදය සාහිත්‍ය සම්මාන ප්‍රදානෝත්සවය“ මෙරට රාජ්‍ය විශ්වවිද්‍යාලයක් මගින් පවත්වනු ලබන එකම සාහිත්‍ය සම්මාන උළෙලයි. සම්මානිත මහාචාර්ය සුනිල් ආරියරත්න මහතා එහි ප්‍රධාන ආරාධිතයා විය. පසුගිය වසරේ පළවූ සාහිත්‍ය කෘති සම්මාන සඳහා නිර්දේශව තිබිණ.

    නිලාර් එන් කාසිම් රචනා කළ “සරස වසන්තය“ කෘතිය වසරේ විශිෂ්ටතම ගේය කාව්‍ය සංග්‍රහය ලෙස සම්මානයට පාත්‍ර විය. හොඳම පද්‍ය සංග්‍රහය ටිම්රාන් කීර්තිගේ “පෙම්බරියගෙන් වෙන්වුණු ලූලෙක් හැරෙයි ඇලකට“ පද්‍ය සංග්‍රහයයි. හොඳම කෙටි කතා කෘතියට හිමි සම්මානය හිමිකර ගත්තේ මහාචාර්ය ප්‍රභාත් ජයසිංහ රචනා කළ “ස්වර්ණකාය“ කෙටි කතා සංග්‍රහයයි. විරාජිනී තෙන්නකෝන්ගේ “මකරානන්දය“ හොඳම නවකතාවට හිමි සම්මානයෙන් පිදුම් ලැබීය. හොඳම තීරු ලිපි සංග්‍රහය වුයේ සුන්දර නිහතමානි ද මෙල්ගේ “මානිගේ තිරුව“යි. ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයීය සිංහල සහ ජනසන්නිවේදන අධ්‍යයන අංශය උත්සවය සංවිධාන කළේය. උපකුලපති ජ්‍යෙෂ්ඨ මහාචාර්ය සම්පත් අමරතුංග මහතා ඇතුළු ආචාර්ය මණ්ඩලය, සාහිත්‍යවේදීන්, විද්වතුන් ඇතුළු පිරිසක් මේ අවස්ථාවට එක්වූහ.

    Last modified on බ්‍රහස්පතින්දා, 05 සැප්තැම්බර් 2019 10:07

    Latest News