ජනාධිපති සම්මාන උළෙල-හොඳම නළුවා සහ නිළිය දැවෙන විහඟුන් චිත්‍රපටයට

ජූලි 27, 2019

    ජනාධිපති සිනමා සම්මාන උළෙල නෙළුම් පොකුණ රඟහලේදී ඊයේ පැවැත්විණ.

    2016, 2017 සහ 2018 වර්ෂවල ප්‍රදර්ශනය කෙරුණු චිත්‍රපට වෙනුවෙන් මෙහිදී සම්මාන පිරිනැමිණ. උත්සවය පැවැත්වුණේ, ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන්.
    ජාතික චිත්‍රපට සංස්ථාව සංවිධාන කරන ජනාධිපති සිනමා සම්මාන උළෙල මෙවර පැවැත්වුණේ, 19 වැනි වරටයි. පසුගිය වසර තුනේ ප්‍රදර්ශනය කෙරුණු චිත්‍රපට 79ක් සම්මාන සඳහා ඉදිරිපත් කෙරිණ.

    2016 වර්ෂයේ හොඳම නිළිය සම්මානයෙන් පිදුම් ලැබුවේ ඇගේ ඇස අග චිත්‍රපටයේ රංගනය වෙනුවෙන් ස්වර්ණා මල්ලවආරච්චි මහත්මියයි.

    එම වසරේ හොඳම නළුවා මෝටර් බයිසිකල් චිත්‍රපටයේ රඟ පෑ දසුන් පතිරණ.

    2016 වසරේ හොඳම චිත්‍රපටයට හිමි සම්මානය ලැබූ “ඇගේ ඇස අග“ අධ්‍යක්‍ෂණය කළ අශෝක හඳගමට එම වසරේ හොඳම අධ්‍යක්‍ෂණය සම්මානය හිමිවිය.

    2017 වසරේ හොඳම නිළිය “28“ චිත්‍රපටයේ රඟපෑ සේමිණි ඉද්දමල්ගොඩ. “28“ චිත්‍රපටයේ රංගනය වෙනුවෙන් මහේන්ද්‍ර පෙරේරා හොඳම නළුවාට හිමි සම්මානය හිමිකර ගත්තේය.

    “28“ 2017 වසරේ හොඳම චිත්‍රපටය වූ අතර 2017 වසරේ හොඳම අධ්‍යක්‍ෂණය සම්මානය හිමිවූයේ ද එම චිත්‍රපටය අධ්‍යක්‍ෂණය කළ ප්‍රසන්න ජයකොඩිට.

    අනෝමා ජනාදරී 2018 වසරේ හොඳම නිළිය සම්මානයට හිමිකර ගත්තේ දැවෙන විහඟුන් චිත්‍රපටයේ රංගනය වෙනුවෙන්. එම චිත්‍රපටයේම රඟපෑ මහේන්ද්‍ර පෙරේරා 2018 වසරේ හොඳම නළුවායි. දැවෙන විහඟුන් අධ්‍යක්‍ෂණය කළ සංජීව පුෂ්පකුමාර එම වසරේ හොඳ අධ්‍යක්‍ෂණයට හිමි සම්මානය හිමිකරගත් අතර, වසරේ හොඳම චිත්‍රපටය සම්මානය ද දැවෙන විහඟුන් චිත්‍රපටයට හිමිවිය.

    සිනමාවේදියෙකුට ජිවිතේ එක් වරක් පිරිනැමෙන ස්වර්ණසිංහ සම්මාන 3ක් මෙහිදී පිරිනැමිණ.

    ප්‍රවීණ රංගන ශිල්පී රවීන්ද්‍ර රන්දෙණියට එක් සම්මානයක් පුද කෙරිණ.

    තවත් ස්වර්ණසිංහ සම්මානයක් පිරිනැමුණේ ප්‍රවීණ රංගන ශිල්පිණි නීටා ප්‍රනාන්දු මහත්මියටයි.

    ප්‍රවීණ චිත්‍රපට අධ්‍යක්‍ෂ සුගතපාල සෙනෙරත් යාපා මහතාටයි අනෙක් ස්වර්ණසිංහ සම්මානය පිරිනැමුණේ.

    ශ්‍රී ලාංකීය සිනමාව අන්තර් ජාතික තලයට රැගෙන ගිය සහ සිනමාවේ ප්‍රගමනයට විශිෂ්ට දායකත්වයක් දැක්වූ තවත් සිනමාකරුවන් 27 දෙනෙකුට ජනාධිපතිතුමා අතින් සම්මාන පිරිනැමිණ.

    අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා ඇතුළු කලාකරුවන් විශාල පිරිසක් මේ අවස්ථාවට එක්වූහ.

    2019 ජනාධිපති සිනමා සම්මාන උළෙල ලබන සිකුරාදා රාත්‍රී 10.30ට ජාතික රූපවාහිනිය ඔස්සේ විකාශය කිරීමට නියමිතයි.

    Latest News