කාලගුණය කැළඹෙයි, මහා වැස්ස යළි සක්‍රීයයි

අගෝ 17, 2024
    ශ්‍රී ලංකාව ආසන්න පහළ වායුගෝලයේ පවතින කැලඹිලි ස්වභාවය හේතුවෙන් දිවයිනේ නිරිතදිග ප්‍රදේශවල දැනට පවතින වැසි තත්ත්වය අද (17) දිනයේදී තවදුරටත් අපේක්ෂා කරන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

    බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල, මාතර සහ මන්නාරම දිස්ත්‍රික්කවල අද දිනයේදීත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකියි.

    එමෙන්ම බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කයන්හි ඇතැම් ප්‍රදේශවලට මි.මී. 100 ට වැඩි තද වැසි ඇතිවිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරනවා.
    දිවයිනේ සෙසු ප්‍රදේශ වල සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකියි.
    ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මගින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.
    Last modified on සෙනසුරාදා, 17 අගෝස්තු 2024 07:20

    Latest News