හිරුණිකාට බරපතල වැඩ සහිත සිරදඬුවමක්

ජූනි 28, 2024

    හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීනි හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මියට කොළඹ මහාධිකරණය අද බරපතල වැඩ සහිතව වසර 3 ක සිරදඬුවම් නියම කළා.

    ඒ, දෙමටගොඩ ප්‍රදේශයේ වෙළෙඳසැලක සේවය කළ තරුණයෙකු පැහැරගෙන ගොස් අයුතු ලෙස සිර කර තැබීමේ චෝදනාව සම්බන්ධයෙන්. 

    කොළඹ මහාධිකරණ විනිසුරු අමල් රණරාජා මහතා විසින් දීර්ඝ නඩු විභාගයකින් පසු අද මෙම තීන්දුව ප්‍රකාශයට පත් කළා. 

    චෝදනා 18 කට‍ ඇය වරදකරු ලෙස තීන්දුවෙන් ප්‍රකාශයට පත් කෙරුණා. එක් එක් චෝදනාවකට රුපියල් විසිදහස බැගින් දඩ නියම කරන බව විනිසුරුවරයා මෙහිදී නියෝග කළා. 

    දඩ ගෙවීම පැහැරහැරියහොත් එක් චෝදනාවකට මාස 6 බැගින් සිරදඬුවම් නියම කරන බව නියෝගයේ සඳහන්. විත්තිකාරිය සිදු කර ඇති වරදවල ස්වභාවය අනුව, ඇයට බරපතල වැඩ සහිත වසර 69 ක සිරදඬුවමක් නියම කිරීමට අධිකරණයට හැකියාව තිබෙන බවද විනිසුරුවරයා සදහන් කළා. 

    විත්තිකාරිය පාර්ලිමේන්තු මන්ත්‍රීවරියක වශයෙන් කටයුතු කරමින් ඇයගේ බලතල පාවිච්චි කොට සාමාන්‍ය වෙළෙඳසැලක සේවය කළ පුරවැසියෙකු පැහැරගෙන ගොස් පවුල් ආරවුල් විසඳීමට කටයුතු කිරීම සුළුවෙන් තැකිය නොහැකි කරුණක්යැයි පෙන්වා දුන් නියෝජ්‍ය සොලිසිටර් ජනාල්වරයා, මහජනයා විශ්වාසය තබා තෝරා පත්කරගත් තැනැත්තියක් මේ ආකාරයෙන් කටයුතු කිරීම අනුමත කළ නොහැකි බව අධිකරණයේදී කියා සිටියා. 

    මෙය ඉතා බරපතල කරුණක් වන අතර, විත්තිකාරිය බන්ධනාගාර ගත කළ යුතු වරදක්යැයි සඳහන් කළ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා එම දඬුවම අත්හිටවූ සිරදඬුවමක් බවට පරිවර්තනය කිරීම නුසුදුසු බව සඳහන් කළා. 

    එසේම, යම් පුද්ගලයෙකු මෙම විත්තිකාරිය ගමන් කළ මාර්ගයේ ගමන් කිරීමට ‍සූදානම් වන්නේ නම් සහ නීත්‍යනුකූලව ජීවත් වන අයට නීතියේ රැකවරණය ලැබෙන බව හැඟවෙන ආකාරයේ දඬුවමක් මෙම විත්තිකාරියට ලබා දිය යුතු බව නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා වැඩිදුරටත් අධිකරණයෙන් ඉල්ලා සිටීමෙන් අනතුරුවයි, අධිකරණය මෙම දඬුවම නියම කළේ. 

    Last modified on සිකුරාදා, 28 ජූනි 2024 11:15

    Latest News